7. චාපාල වර්‍ගය
8. 2. 7. 1.
ලාහිච්ඡා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ලොව්හි විද්‍යමාන මේ පුද්ගලයෝ අටදෙනෙක් ඇත. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රකර්‍ෂ විවේකයට ගිය (කිසිවක්හි) අයත් පැවැතුම් නැතිව වෙසෙන (විදර්‍ශනා කම්මික) මහණහට ප්‍රත්‍යය ලාභය පිණිස ඉච්ඡායෙක් උපදී. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍යය කරයි, ඝටයි, වැර කරයි. ලාභය සඳහා උත්‍ථාන වීර්‍ය්‍යය කරන, ඝටනා කරන, ව්‍යායාම කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක කරන්නේ ය, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරන්නේ ය, ළෙහි අත් පැහැර හඬනේ ය, සම්මෝහයට පැමිණේ. මහණෙනි, මෙ මහණ ලාභයට ඉච්ඡා ඇති ව වසයි, ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍ය කරයි, ඝටයි, වෑයම් කරයි, (ඉච්ඡිතය) නො ලබන සුලු වූයේ ශෝක කරනුයේ පරිදේවනා කරනුයේ සද්ධර්‍මයෙන් (විදර්‍ශනායෙන්) ච්‍යුත වූයේ යි කියනු ලැබේ.
2. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්තව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. උත්‍ථාන වීර්‍ය්‍ය කරන, ඝටන, ව්‍යායාම කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත්වෙයි, ප්‍රමත්ත වෙයි, ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසේ. ලාභයට උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභී වූයේත් මදැතියේත් ප්‍රමාදී වූයේත් සද්ධර්‍මයෙන් ච්‍යුත වූයේත් වී යයි කියනු ලැබේ.
3. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වසන අයත් නැති පැවතුම් ඇති මහණහට ලාභය පිණිස ඉච්ඡායෙක් උපදනේය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍යය නොකරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස වැර නො කරන, ඝටනා නො කරන, ව්‍යායාම නො කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක කරයි, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරයි, ළෙහි අත්පැහැරැ හඬයි, සම්මෝහයට පැමිණේ. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසේ. උත්‍ථාන වීර්‍ය්‍ය නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. නො ද (ඉච්ඡිතය) ලබන සුලුයේ ශෝක කරනුයේ ද පරිදේවනා කරනුයේ ද සද්ධර්‍මයෙන් ච්‍යුත වූයේ ද වේ යයි කියනු ලැබේ.
4. මහණෙනි, මේ සස්නෙහි ප්‍රවිවික්ත ව වසන අයත් පැවතුම් නැති ව වෙසෙන මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභයට උත්‍ථානවීර්‍ය්‍යය නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍ය නො කරන, නො ඝටන, ව්‍යායාම නො කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත් වෙයි. ප්‍රමත්ත වෙයි. ප්‍රමාදයට යෙයි. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතිවැ වෙසෙයි. උත්‍ථානවීර්‍ය්‍ය නො කරයි, නොඝටයි, ව්‍යායාම නො කරයි. ලාභී වූයේත් මදැතියේ ද ප්‍රමාදී ද සද්ධර්‍මයෙන් හුණුයේ දැයි කියනු ලැබේ.
5. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්තව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍යය කරන, ඝටනා කරන, වෑයම් කරන ඔහට ලාභය නූපදනේ ය. හේ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නොකරයි. ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො යේ. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇති වැ වෙසේ. ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කෙරේ, ඝටනා කෙරේ, ව්‍යායාම කෙරේ, ලාභී නො වූයේ ශෝක නො කරනුයේ යයි ද, පරිදේවනා නො කරන සුලු යේ යයි ද, සද්ධර්‍මයෙන් ච්‍යුත නො වූයේ යයි ද කියනු ලැබේ.
6. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභය පිණිස ඉච්ඡා උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්‍ථාන කරන, ඝටනා කරන, ව්‍යායාම කරන ඔහට ලාභය උපදනේ ය. හේ ලාභයෙන් මත් නො වෙයි, ප්‍රමත්ත නො වෙයි, ප්‍රමාදයට නො වෙයි. මහණෙනි, මේ මහණ, ලාභයට ඉච්ඡා ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්‍ථාන කෙරේ, ඝටනා කෙරේ, ව්‍යායාම කෙරේ. ලාභී වූයේත් මද නැතියේ යයි ද ප්‍රමාද නැතියේ යයි ද සද්ධර්‍මයෙන් අච්‍යුත යයි ද කියනු ලැබේ.
7. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභය පිණිස ඉච්ඡා උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන නො කරයි, ඝටනා නොකරයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්‍ථාන නො කරන, ඝටනා නො කරන, ව්‍යායාම නො කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කරයි, ළය තළමින් නො හඬයි, සම්මෝහයට නො යේ. මහණෙනි, මෙ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ වෙසේ. උත්‍ථාන නො කෙරේ, ඝටනා නො කෙරේ, ව්‍යායාම නො කෙරේ. ලාභී නො වූයේත් ශෝක නො කරන සුලුයේ යයි ද පරිදේවනා නො කරන සුලු යයි ද සද්ධර්‍මයෙන් අච්‍යුත යයි ද කියනු ලැබේ.