8. 2. 7. 10.
භූමිචාල සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන විසාලාවට පිඬු පිණිස පිවිස සේක. විසාලායෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද ය, නිසීදනය (පත්කඩ) ගනුව, චාපාලචේතිය වෙත දිවාවිහාරය පිණිස යම්හයි, වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අනඳ තෙරහු නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස් ලුහුබැඳියහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාලචෙතිය වෙත එළඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍දය, වේසාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බචෙතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්‍දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි.
ආනන්‍දය, යම් කිසිවකුන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත ද බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්‍ථිත ද, පරිචිත ද, සුසමාරද්ධ ද, ආනන්‍ද ය, හේ කැමති වනුයේ කපක් (ආයුෂ්කල්පයක්) හෝ කල්පාවශේෂයක් හෝ (ආයුෂ්කල්පයෙන් වැඩියක්) සිටුනේ ය. ආනන්‍ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්‍ද ය, තථාගත තෙමේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. මෙසේත් ආයුෂ්මත් ආනන්‍ද තෙරහු භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති පහළ කළ කල්හි ඖදාරික අවභාසය (ආලෝකය) පහළ කළ කල්හිදු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කපක් කල් සිටුනා සේක්වා. වහන්ස, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්‍ත්‍ථය පිණිස හිත පිණිස සුඛ පිණිස කපක් කල් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සේ භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ... තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍දය, වෛශාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බ චේතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්‍දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි. ආනන්‍දය, යම් කිසිවකු විසින් සතර ඉදුපා භාවිත ද, බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්‍ථිත ද, පරිචිත ද, සුසමාරබ්ධ ද, ආනන්‍ද ය, හේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. ආනන්‍ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්‍ද ය, කැමති වනුයේ තථාගත තෙමේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් ඖදාරික නිමිත්ත පහළ කරනු ලබන කල්හි ඖදාරික අවභාසය පහළ කරනු ලබන කල්හි ආයුෂ්මත් අනඳ තෙරහු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කපක් සිටුනා සේක්වා, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස කපක් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සෙයින් භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද ය, තෝ යව, දැන් යමකට කල් නම් ඒ දනුවයි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේට නුදුරු එක්තරා රුක්මුලෙක හුන්හ.
එකල්හි පවිටු මාර තෙමේ අනඳ තෙරුන් නික්ම ගිය නොබෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කලී, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් “පාපීමය, යම්තාක් කල් මාගේ භික්‍ෂු ශ්‍රාවකයෝ වියත් වූවාහු විනීත වූවාහු විසාරද වූවාහු පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්‍මධර වූවාහු ධර්‍මානුධර්‍මයට පිළිපන්නාහු සාමීචි පිළිවෙතෙහි යෙදුනාහු අනුධර්‍මචාරී වූවාහු වෙත් ද, ස්ව-ආචාර්‍ය්‍යවාදය උගෙන කියන්නාහු ද, දෙසන්නාහු ද, පනවන්නාහු ද, තබන්නාහු ද, විවරණ කරන්නාහු ද, විභාග කරන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් මොනොවට නිගෙන සප්‍රාතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසන්නාහු ද, එතෙක් මම නො පිරිනිවෙන්නෙමි යන තෙල වචනය කියන ලද මැයි.