8. 2. 7. 6.
විමොක්ඛ සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ විමෝක්ෂයෝ අටදෙනෙකි. කවර අටදෙනෙක යත්:
1. (අධ්යාත්මයෙහි උපදවන ලද) රූපධ්යාන ඇත්තේ බැහැර (නීලකසිණාදී) රූපයන් (දැහැන් ඇසින්) දකියි. මේ ප්රථම විමෝක්ෂ යි.
2. එකෙක් අධ්යාත්මයෙහි අරූපසංඥා (නූපදවන ලද රූපාවචර ධ්යානයන්) ඇත්තේ බැහැර රූපයන් (රූපාවචර ධ්යානයන්) දකියි. මේ දෙවන විමෝක්ෂ යි.
3. (වර්ණකසිණයන්හි ධ්යානයෙහි) සුභ ම ය යි ඇලුණේ වෙයි. මේ තෙවන විමෝක්ෂ යි.
4. සර්වප්රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් (කසිණුගඝාටිම) ආකාසය අනන්තය යි අකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්ෂ යි.
5. සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්ෂ යි.
6. සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්ෂ යි.
7. සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්ෂ යි.
8. සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්ෂ යි.
මහණෙනි, මේ අෂ්ට විමෝක්ෂයෝ වෙතැ යි.
8. 2. 7. 7.
අනරියවෝහාර සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාරයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක යත්:
නො දක්නා ලද්දෙහි දක්නා ලදැ යි කියන බව ය, නො අසන ලද්දෙහි අසන ලදැ යි කියන බව ය, අමුතයෙහි (ඝානජීව්හකායද්වාරයනට නොපත් ගන්ධ රස පොට්ඨබ්බයෙහි) මුතවාදී (ඝානාදිද්වාරයනට ගන්ධාදි ආයතන පැමිණෙන ලදැ යි කියන) බව ය, සිතින් නො දන්නා ලද්දෙහි දන්නා ලදැයි කියන බව ය, දක්නා ලද්දෙහි අදිට්ඨාවාදිතා ය, අසන ලද්දෙහි අසුතවාදිතා ය, මුතයෙහි (ගන්ධරස ඵොට්ඨාබ්බාරම්මණයන් ලබන ලද කල්හි ඒ නැතැයි කියන) අමුතවාදිතා ය, සිතින් දන්නා ලද්දෙහි නො දන්නා ලදැ යි කියන බව ය. මහණෙනි, මේ අෂ්ට අනාර්ය්යව්යවහාරයෝ යි.