8. 2. 7. 7.
අනරියවෝහාර සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාරයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක යත්:
නො දක්නා ලද්දෙහි දක්නා ලදැ යි කියන බව ය, නො අසන ලද්දෙහි අසන ලදැ යි කියන බව ය, අමුතයෙහි (ඝානජීව්හකායද්වාරයනට නොපත් ගන්ධ රස පොට්ඨබ්බයෙහි) මුතවාදී (ඝානාදිද්වාරයනට ගන්ධාදි ආයතන පැමිණෙන ලදැ යි කියන) බව ය, සිතින් නො දන්නා ලද්දෙහි දන්නා ලදැයි කියන බව ය, දක්නා ලද්දෙහි අදිට්ඨාවාදිතා ය, අසන ලද්දෙහි අසුතවාදිතා ය, මුතයෙහි (ගන්ධරස ඵොට්ඨාබ්බාරම්මණයන් ලබන ලද කල්හි ඒ නැතැයි කියන) අමුතවාදිතා ය, සිතින් දන්නා ලද්දෙහි නො දන්නා ලදැ යි කියන බව ය. මහණෙනි, මේ අෂ්ට අනාර්ය්යව්යවහාරයෝ යි.
8. 2. 7. 8.
අරියවෝහාර සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ආර්ය්යව්යවහාරයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක යත්: අදිට්ඨයෙහි අදිට්ඨවාදිතා ය, අසුතයෙහි අසුතවාදිතා ය, අමුතයෙහි ආමුතවාදිතා ය, අවිඤ්ඤාතයෙහි අවිඤ්ඤාතවාදිතා ය, දිට්ඨයෙහි දිට්ඨවාදිතා ය, සුතයෙහි සුතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඤ්ඤාතයෙහි විඤ්ඤාතවාදිතා යි. මහණෙනි,මේ ආර්ය්යව්යවහාරයෝ අටදෙනා යි.
8. 2. 7. 9.
පරිස සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ පිරිස් අටෙකි. කවර අටෙක යත්: ඛත්තිය පිරිස ය, බ්රාහ්මණ පිරිස ය, ගහපති පිරිස ය, සමණ පිරිස ය, චාතුම්මහාරාජික පිරිස ය, තාවතිංස පිරිස ය, මාර පිරිස ය, බ්රහ්ම පිරිස යි.
මහණෙනි, මම නේසිය කැත්පිරිස් වෙත එළඹියෙමි දනිම් ම ය.. එහිදු මා විසින් හුන්විරූ බිණූවිරූ ද වේ. සාකච්ඡාවට පැමිණිවිරූ ද වේ. එහි යම් බඳු ඔවුන්ගේ වර්ණයෙක් වේ ද, එබඳු වර්ණයෙක් මට ද වෙයි. යම් බඳු ඔවුන්ගේ ස්වරයෙක් වේ ද, එබඳු ස්වරයෙක් මට ද වේ. දැහැමි කථායෙන් ද සන්දර්ශනය කරමි, සමාදන් කරවමි, සමුත්තේජන කරමි, සම්පහංසන කරමි, මේ දෙවි හෝ මිනිස් හෝ කවරෙක් බෙණේ දැ යි බණන මා නො දනිත්. දැහැමි තෙපුලෙන් සන්දර්ශනය කොට සමාදන් කොට සමුත්තේජන කොට, සම්පහංසන කොට අතුරුදන් වෙමි. දෙවි වූ හෝ මිනිස් වූ හෝ මේ කවරෙක් නම් අතුරුදන් වී දැයි අතුරුදන් වූ ද මා නොදනිත්.
මහණෙනි, මම නේසිය බමුණු පිරිස් වෙත ... ගැහැවි පිරිස් වෙත ... මහණ පිරිස් වෙත ... සිවුමහරදපිරිස් වෙත ... තව්තිසපිරිස් වෙත ... මරපිරිස් වෙත ... බඹපිරිස් වෙත එළඹියෙම් දනිමි. එහිදු මා විසින් හුන්විරූ ද බිණූවිරූ ද වේ. සාකච්ඡා කළ විරූ ය. එහි යම් බඳු ඔවුන්ගේ වර්ණයෙක් වේ ද, එබඳු වර්ණයෙක් මට ද වෙයි. ඔවුන්ගේ යම් බඳු ස්වරයෙක් වේ නම් මට ද එබඳු ස්වරයෙක් වේ. දැහැමි කථායෙනුදු සන්දර්ශනය කරමි, සමාදන් කරමි, සමුත්තේජනය කරමි, සම්පහංසනය කරමි. මේ කවර නම් දෙවියෙක් හෝ මිනිසෙක් බෙණේදැයි බණන මා නො දනිත්. දැහැමි කථායෙන් සන්දර්ශනය කොට, සමාදන් කොට, සමුත්තේජනය කොට, සම්පහංසනය කොට අතුරුදන් වෙමි. මේ කවර නම් දෙවියන් හෝ මිනිසෙක් හෝ අතුරුදන් වී දැයි අතුරුදන් වූ ද මා නොදනිත්. මහණෙනි, මේ පිරිස් අට ය.