8. 2. 7. 5.
අභිභායතන සූත්‍රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ අභිභායතනයෝ (සතුරු දහම් හා අරමුණු මඩින කරුණු) අට දෙනෙකි. කවර අටදෙනෙක යත්: අධ්‍යාත්මරූපයෙහි (පරිකර්‍ම වශයෙන්) රූප සංඥා ඇත්තේ එකෙක් නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපායතන දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ ප්‍රථම අභිභායතනය යි.
2. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ දෙවන අභිභායතනය යි.
3. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ එකෙක් නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෘතීය අභිභායතනය යි.
4. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ චතුර්‍ත්‍ථ අභිභායතනය යි.
5. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් නිල් වූ නිල්වන් වූ නීලනිදර්‍ශන වූ නීලාවභාස වූ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ පඤ්චම අභිභායතනය යි.
6. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් පීත වූ පීත වර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතාවභාස වූ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්යේ වෙයි. මේ ෂෂ්ඨ අභිභායතනය යි.
7. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් ලෝහිත වූ ලෝහිතක වර්‍ණ වූ ලෝහිතක නිදර්‍ශන වූ ලෝහිතාවභාස ඇති බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ සප්තම අභිභායතනය යි.
8. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාත නිදර්‍ශන වූ අවදාතාවභාස ඇති බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ අෂ්ටම අභිභායතනය යි. මහණෙනි, මේ අෂ්ට අභිභායතනයෝ යි.
8. 2. 7. 6.
විමොක්ඛ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ විමෝක්‍ෂයෝ අටදෙනෙකි. කවර අටදෙනෙක යත්:
1. (අධ්‍යාත්මයෙහි උපදවන ලද) රූපධ්‍යාන ඇත්තේ බැහැර (නීලකසිණාදී) රූපයන් (දැහැන් ඇසින්) දකියි. මේ ප්‍රථම විමෝක්‍ෂ යි.
2. එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා (නූපදවන ලද රූපාවචර ධ්‍යානයන්) ඇත්තේ බැහැර රූපයන් (රූපාවචර ධ්‍යානයන්) දකියි. මේ දෙවන විමෝක්‍ෂ යි.