8. 2. 7. 3.
සඞ්ඛිත්තදේසිත සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලා වූයෙම් සඞ්ගණිකායෙන් දුරු වූයෙම් නො පමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් කෙරේ යැවූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් එ දහම් දෙසන සේක් නම් මැනැවැ යි.
මෙ ලොව්හි ඇතැම් හිස් පුඟුලෝ මෙ ලෙසින් ම මට අධ්‍යෙෂණ කෙරෙත්. දහම් දෙසූ කල්හිත් මා ම ලුහුබැඳිය යුතු කොට හඟිත්.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දම් දෙසන සේක්වා, සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයේ අර්‍ත්‍ථය මම දැන ගන්නෙම් නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට මම දායාද වන්නෙම් නම් මනා මැනු.
මහණ, එ හෙයින් තොප මෙසේ හික්මිය යුතුය: මාගේ සිත මොනොවට පිහිටියේ අධ්‍යාත්මයෙහි ම සිටියෙක් වන්නේ ය. උපන් ලමු අකුශල ධර්‍මයෝ සිත මැඩ ගෙන නො ද සිටුනාහයි, මහණ තොප මෙසේ ම හික්මිය යුතුය.
මහණ, යම් කලෙක තොපගේ සිත මනාව සිටියේ අධ්‍යාත්මයෙහි සිටියේ වේද, උපන් ලමු අකුශල ධර්‍මයෝත් සිත මැඩගෙන නො සිටිනාහු වේ ද, මහණ, එකල්හි තා විසින් මෙසේ හික්මිය යුතු: මාගේ මෛත්‍රීචිත්තවිමුක්ති තොමෝ භාවිත වූවා බහුලීකෘත වූවා යානාවක්මෙන් කරන ලද වූවා වාස්තුවක් මෙන් කෘත වූවා සුපිහිටි වූවා මනාසේ වඩන ලද වූවා සුසමාරබ්ධ වූවා වන්නීය කියා යි. මහණ, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
මහණ, යම් කලෙක තොප මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේ ද බහුලීකෘත වේ ද, එකල්හි මහණ තොපි මේ සමාධිය සවිතර්‍ක කොට ද සවිචාර කොට ද වඩන්නහු, විචාරමාත්‍රවු අවිතර්‍ක කොට ද වඩන්නහු, අවිතර්‍ක කොට ද අවිචාර කොට ද වඩන්නහු, සප්‍රීතික කොට ද වඩන්නහු, නිෂ්ප්‍රීතික කොට ද වඩන්නහු, සුඛ සහගත කොට ද වඩන්නහු, උපේක්‍ෂා සහගත කොට ද වඩන්නහු ය.
මහණ, යම් කලෙක තොප විසින් මේ සමාධිය මෙසේ භාවිත වූයේ මොනොවට වඩනා ලදුයේ වේ ද, මහණ, එකල්හි තොප මෙසේ හික්මිය යුතු: මාගේ කරුණාචිත්ත විමුක්ති තොමෝ ... මාගේ මුදිතාචිත්ත විමුක්ති තොමෝ ... මාගේ උපේක්‍ෂාචිත්ත විමුක්ති තොමෝ භාවිත වූවා බහුලීකෘත වූවා යානීකෘත වූවා වස්තුකෘත වූවා අනුත්‍ථිත වූවා පරිචිත වූවා සුසමාරබ්ධ වූවා වන්නීය කියා යි. මහණ, තොප මෙසේ ම හික්මිය යුතු.
මහණ, යම් කලෙක තොප විසින් මේ සමාධිය මෙසේ භාවිතා වූයේ බහුල කරන ලද්දේ වේ ද, මහණ, එකල තොපි මේ සමාධිය සවිතර්‍ක කොටත් සවිචාර කොටත් වඩනහු, අවිතර්‍ක විචාරමාත්‍ර කොටත් වඩනහු, අවිතර්‍ක අවිචාරමාත්‍ර කොටත් වඩනහු, සප්‍රීතික කොටත් වඩනහු, නිෂ්ප්‍රීතික කොටත් වඩනහු, සුඛ සහගත කොටත් වඩනහු, උපේක්‍ෂා සහගත කොටත් වඩනහුය,