8. 2. 7. 2.
අලං සූත්රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ තමහට (හිත ප්රතිපත්තියෙහි ලා) සුදුසු වෙයි, පරහට (හිත ප්රතිපත්තියෙහි ලා) සුදුසු වෙයි, කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ (ස්කන්ධ, ධාතු, ආයතනාදි) කුසලධර්මයන්හි වහා උපධාරණ කරන්නේත් වෙයි, ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේත් වෙයි, දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේත් වෙයි, අරුත් දැන පෙළ දහම් දැන ධර්මානු ධර්මයට පිළිපන්නේත් වෙයි, සුන්දර වාග්ඝෝෂ ඇතියේ නො පැකුළුණු නිදොස් නො ගිලිහුණු අර්ත්ථ විඥාපනයෙන් යුත් පිරිපුන් තෙපුලින් සමන්වාගත වූයේ කල්යාණ කථා ඇතියේ වෙයි, සබ්රම්සරුනට සමාදන් කරනුයේ සමුත්තේජනා කරනුයේ සම්ප්රහර්ෂණ කරනුයේ කරුණු දක්වනුයේත් වෙයි. මහණෙනි, මෙ ස කරුණින් සමන්වාගත මහණ තමහට (හිත ප්රතිපත්ති පිණිස) සුදුසු වෙයි, පරහට (හිත ප්රතිපත්ති පිණිස) සුදුසු වේ.
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වූ මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල ධර්මයන්හි වහා උපධාරණ කරනුයේ නො ම වෙයි. ඇසූ දහම් දරන සැහැවි ඇතියේ, දැරූ දහමුන්ගේ අරුත් විමසා දන්නේත් වෙයි, අටුවා දැන, පෙළ දහම් දැන, ධර්මානු ධර්මයෙහි පිළිපන්නේත් වෙයි. අර්ත්ථවිඥාපනයට හිත වූ ... කල්යාණකථා ඇතියේ වෙයි, සබ්රම්සරුනට සමාදන් කරනුයේ සමුත්තේජනා කරනුයේ සම්ප්රහර්ෂණ කරනුයේ සන්දර්ශක ද වෙයි. මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු වේ.
3. මහණෙනි, සිවු කරුණෙකින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නො වේ. කවර සතරෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුශල ධර්මයන්හි ඛිප්පනිස්සන්ති ද වෙයි. ඇසූ දහමුන් දරන සැහැවි ඇතියේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේත් වෙයි. අටුවා දැන පෙළ දම් දැන ධර්මානු ධර්මයට පිළිපන්නේත් වෙයි. නො පැකුළුණු නිදොස් නො ගිලිහුණු, අරුත් හඟවන පිරිණු වදනින් සමන්වාගත වූයේ කල්යාණ වාග්ඝෝෂ ඇතියේ කල්යාණ කථා ඇත්තේ ද නො වෙයි. සබ්රම්සරුන්ට සමාදන් කරවන සමුත්තේජන කරන සම්ප්රහර්ෂණ කරන සන්දර්ශක ද නො වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්වාගත මහණ තම හට සුදුසු වෙයි. පරහට සුදුසු නො වේ.
4. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත මහණ පරහට (හිත පිළිවෙත් පිණිස) සුදුසු වෙයි, තමහට (හිත පිළිවෙත් පිණිස) නො සුදුසු වෙයි. කවර සතරෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුශල ධර්මයන්හි ඛිප්පනිසන්ති ද වෙයි. ඇසූ දහම් දරන සැහැවි ඇතියේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේ නො වෙයි, අටුවා දැන පෙළ දම් දැන ධර්මානුධර්මයට පිළිපන්නේත් නො වෙයි, සොඳුරු වදන් ඇතියේ සුන්දර වාග් ඝෝෂ ඇතියේ ... අරුත් හැඟවීමට සුදුසු තෙපුලින් සමන්වාගත වූයේ ... කල්යාණ කථා ඇතියේ වෙයි, සබ්රම්සරුනට සන්දර්ශක ද වෙයි. ... මහණෙනි, මේ සතර දහමින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වේ.