8. 1. 3. 7.
බල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ බල අටෙකි. කවර අටෙකැ යත්: මහණෙනි, ළදරුවෝ හැඬීම බල කොට ඇත්තෝ ය. මාගම ක්‍රෝධය බල කොට ඇත්තී ය. සොරු ආවුධ බල කොට ඇත්තෝ ය. රජවරු ඓශ්චර්‍ය්‍යය බල කොට ඇත්තෝ ය. අඥානයෝ උදහස්වීම (ක්‍රෝධචිත්තය ම දැඩි ව ගැනීම) බල කොට ඇත්තෝ ය. පණ්ඩිතයෝ වැඩ අවැඩ නිශ්චය කොට අවබෝධ කර වීම බලකොට ඇත්තෝ ය. බහුශ්‍රැතයෝ පස්විකුම් බලකොට ඇත්තෝ ය. මහණබමුණෝ ඉවසීම බල කොට ඇත්තෝ ය. මහණෙනි, මේ අට බලයෝ වෙති යි.
8. 1. 3. 8.
ඛීණාසවබල සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ශාරීපුත්‍රය, යම් බලයන්ගෙන් යුක්ත වූ රහත් මහණ මාගේ ආස්‍රවයෝ ගෙවී ගියහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල කෙතෙක් ද?
වහන්ස, යම් බලයන්ගෙන් යුතු රහත් මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල අටෙකි. කවර අටෙක යත්:
1. වහන්ස, මෙ සස්නෙහි රහත් මහණහු විසින් අනිත්‍ය වශයෙන් සියලු සංස්කාරයෝ තත්වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
2. තවද, වහන්ස, රහත් මහණහු විසින් කාමයෝ අඟුරු වළක් උපමා කොට ඇතියහ යි තත් වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණහු විසින් යම් හෙයෙකින් කාමයෝ අඟුරුවළක් උපමා කොට ඇතියහ යි තත්වූ පරිද්දෙන් මනා නුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත් ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි (ගෙවී ගියහ යි) ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, වහන්ස, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
3. තවද වහන්ස, රහත් මහණුගේ සිත (පලසමවත් විසින්) විවේකයට (නිවනට) නැඹුරු වූයේ විවේකයට (නිවනට) අවනත වූයේ විවේකයට (නිවනට) බර වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ පැවිද්දෙහි මොනවට ඇලුණේ හැම අයුරින් ම ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයන් හා සමඟ ඇලුම් රහිත වූයේ හෙවත් සියලු ත්‍රෛභූමකධර්‍මයන්ගෙන් විගතාන්ත වූයේ වේ. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.