1. ප්‍රථම පණ්ණාසකය
1. මෙත්තා වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
8. 1. 1. 1.
මෙත්තානිසංස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, අදරින් සෙවුනා ලද, වඩනා ලද, බහුල වශයෙන් (නැවත නැවත) කරන ලද යානාවක් බඳු කරන ලද, ප්‍රතිෂ්ඨානාර්‍ත්‍ථයෙන් වස්තුවක් මෙන් කරනලද, එළඹ සිටි පුරුදු කරන ලද, මොනොවට පටන් ගන්නා ලද මෛත්‍රීචිත්තවිමුක්තියෙහි අට අනුසස් කෙනෙක් කැමති විය යුත්තාහ. කවර අට දෙනෙක යත්:
සුවසේ නිදයි, සුවසේ පිබිදෙයි, ලමු සිහින නො දක්නේ ය, මිනිස්නට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි, දෙවියෝ රක්නාහ, ඕහට ගිනි වේවයි, විෂ ගිනි වේවයි, අවි වේවයි නො වදනේ ය, මතුයෙහි මඟපල නො පිළිවිදුනේ බඹලොව යන්නේ වෙයි.
මහණෙනි, අදරින් සෙවුනා ලද, වඩනා ලද, බහුලවශයෙන් කරන ලද යානාවක් වැනි කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටි, පුරුදු කරන ලද, මොනොවට පටන් ගන්නා ලද මෛත්‍රීචිත්තවිමුක්තියෙහි මේ අට අනුසස් කැමැති විය යුතු ය යි.
1. එළඹ සිටි සිහි ඇති යමෙක් (පැතිරීම් විසින්) අප්‍රමාණ වූ මෙත් සිත වඩනේ නම්, ක්ලේශෝපධීන්ගේ ක්‍ෂය දක්නා ඔහුගේ සංයෝජනයෝ තුනී වෙත්.
2. ඉදින් එක ද සත්ත්‍වයකු කෙරෙහි දුෂ්ට නොවූ සිතැතියේ මෙත් වඩා නම්, ඒ හේතුයෙන් කුසල් ඇත්තෙක් (කුසල් කරන්නෙක්) වෙයි. සව්සතුන් කෙරෙහි සිතින් අනුකම්පා කරන ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කෙරෙයි.
3. යම් රාජර්ෂි කෙනෙක් (ඍසිසදෘශ දැහැමි රජකෙනෙක්) සත්කැලන්ගෙන් ගැවසි පොළෝතල දනා (ගෙදොර නිරගුළු කළ හෙයින්) නිරග්ගල නම් වූ සස්සමේධ ය පුරිසමේධ ය සම්මාපාස ය වාචපෙය්‍ය ය යන සිවුසඟරාවතින් යාග කරමින් (දන් දෙමින්) හැසුරුනාහු වෙත් ද,
4. ඒ යාගයෝ සුභාවිත මෛත්‍රීසහගතචිත්තයාගේ (විපාකමහත්ත්‍වයෙන්) සොළොස්වන කලාව ද පවා නො අගිත්. සඳපහන හැම තුරුකැල මඬනාක් මෙනි.
5. යමෙක් නො නසා ද, නො නස්වා ද, හානි නො කෙරේ ද, හානි නො කරවා ද, හැම සතුන් කෙරෙහි මෛත්‍රීභාගව සිටුනේ වේ ද, කිසිවකුදු හා ඔහුගේ වෙරයෙක් නැත්තේ යි.
8. 1. 1. 2.
ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනා ප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පරිපූරභාවය පිණිස හේතූහු අට දෙනෙක් ප්‍රත්‍යයයෝ අට දෙනෙක් පවත්නාහ. කවර අට දෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්‍යතර සබ්‍රම්සරකු හෝ ඇසිරි කොට වෙසෙයි. මහණෙනි, මේ පළමු හේතුව පළමු ප්‍රත්‍යය නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.