8. 1. 3. 8.
ඛීණාසවබල සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ශාරීපුත්‍රය, යම් බලයන්ගෙන් යුක්ත වූ රහත් මහණ මාගේ ආස්‍රවයෝ ගෙවී ගියහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල කෙතෙක් ද?
වහන්ස, යම් බලයන්ගෙන් යුතු රහත් මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල අටෙකි. කවර අටෙක යත්:
1. වහන්ස, මෙ සස්නෙහි රහත් මහණහු විසින් අනිත්‍ය වශයෙන් සියලු සංස්කාරයෝ තත්වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
2. තවද, වහන්ස, රහත් මහණහු විසින් කාමයෝ අඟුරු වළක් උපමා කොට ඇතියහ යි තත් වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණහු විසින් යම් හෙයෙකින් කාමයෝ අඟුරුවළක් උපමා කොට ඇතියහ යි තත්වූ පරිද්දෙන් මනා නුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත් ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි (ගෙවී ගියහ යි) ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, වහන්ස, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
3. තවද වහන්ස, රහත් මහණුගේ සිත (පලසමවත් විසින්) විවේකයට (නිවනට) නැඹුරු වූයේ විවේකයට (නිවනට) අවනත වූයේ විවේකයට (නිවනට) බර වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ පැවිද්දෙහි මොනවට ඇලුණේ හැම අයුරින් ම ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයන් හා සමඟ ඇලුම් රහිත වූයේ හෙවත් සියලු ත්‍රෛභූමකධර්‍මයන්ගෙන් විගතාන්ත වූයේ වේ. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
4. තවද, වහන්ස, රහත් මහණහු විසින් සතර සීවටන්හු වඩනා ලද්දාහු මොනොවට වඩනා ලද්දාහු වෙති. වහන්ස, යම් හෙයෙකින් රහත් මහණහු විසින් සතර සීවටන්හු වඩනා ලද්දාහු මොනවට වඩනා ලද්දාහු වෙත් ද, වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන් ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
5-8 තවද, වහන්ස, ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් ... පඤ්චඉන්‍ද්‍රියයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් ... සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් … අටඟෙකින් යුතු ආර්‍ය්‍ය වූ මාර්‍ගය භාවිත වූයේ සුභාවිත වූයේ වෙයි. වහන්ස, යම් හෙයෙකින් රහත් මහණහු විසින් ආර්‍ය්‍ය වූ අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනලද්දේ මොනොවට වඩනලද්දේ වේ ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වේ.
වහන්ස, යම් බලයන්ගෙන් සමන්‍වාගත රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහයි ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, ක්‍ෂීණාස්‍රව මහණ හට මේ අට බලයෝ වෙති යි.
8. 1. 3. 9.
අක්ඛණ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ ලෝකය ක්‍ෂණකෘත්‍ය ඇත්තේ ය, (අවකාශ ලැබැ ම කරන කිස ඇත්තේ ය) ක්‍ෂණ කෘත්‍ය ඇත්තේ ය යි කියයි. හෙතෙමේ ක්‍ෂණය (අවකාශය) හෝ අක්‍ෂණය (අනවකාශය) හෝ නො දනියි. මහණෙනි, බඹසර විසීමට අනවකාස අකාල මේ අටෙක් වෙයි. කවර අටෙක යත්:
1. මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත වූ ලෝකවිදු වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ලෝකයෙහි උපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවීම කරන්නා වූ (චතුර්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කරා යන්නා වූ සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දා වූ ධර්‍මය ද දෙසනු ලැබේ. (එකල) මේ පුඟුල් තෙමේ ද නිරයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පළමු වන අනවකාශය වේ අකාලය වේ.