3. ගහපති වර්‍ගය
8. 1. 3. 1.
වේසාලික උග්ග සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරසාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, විසල්පුර වැසි උග්ග ගහපති ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අටෙකින් සමන්‍වාගත කොට දරවුයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර වැසි උග්ග ගැහැවිහුගේ නිවෙස්න යම් තෙනෙක්හි ද, එහි එළැඹියේ ය, එළඹ පැනවූ අස්නෙහි හින. එකල්හි විසල්පුරවැසි උග්‍රගෘහපති ඒ මහණහු වෙත එළැඹියේ ය. එළැඹ එ මහණහු වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් විසල්පුර වැසි උග්‍රගෘහපති හට ඒ මහණ මෙය කී ය:
ගෘහපතිය, තෙපි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අටෙකින් සමන්‍වාගත වවු යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු, ගෘහපතිය, තෙපි යම් ධර්‍ම අටෙකින් සමන්‍වාගත වවු යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දහු ද, ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අටදෙන කවරහු ද?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මම කවර අසිරි අබුතු දහම් අටෙකින් සමන්‍වාගතය යි ප්‍රකාශිතයෙම් දැයි නො දනිමි. එහෙත් වහන්ස, මාගේ යම් මේ අට අසිරි අබුතු දහම් කෙනෙක් ඇත් ද ඔවුන් අසව. මැනවින් මෙනෙහි කරව, පවසන්නෙමි යි.
ඒ මහණ තෙමේ ‘එසේ ය ගෘහපතිය’ යි විසල්පුරවැසි උග්‍රගෘහපති හට පිළිවදන් ඇස්වී ය. විසල් පුරවැසි උග්‍රගහෘපති තෙමේ මෙය කී ය:
1. වහන්ස, මම් යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ පළමු කොට දුරදීම දුටුයෙමි ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය හා සමග ම මාගේ සිත පහන් වි ය. වහන්ස, මාගේ මේ පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
2. වහන්ස, ඒ මම පහන්සිත් ඇතියෙම් භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනය (වෙත එළැඹ ඇසුරු කිරීම) කෙළෙමි. එ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව දෙසූසේක. එ නම්: දානකථා සීලකථා ද සග්ගකථා ද කාමයන්ගේ ආදීනව ලමුබව කිලිටිබව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක්හි අරෝගසිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔදවැඩි සිත් ඇති පහන් සිත් ඇති මා දත් සේක් ද, එකල්හි බුදුවරයින්ගේ සාමුක්කංසික වූ (තමන් විසින් ම කිසිවකුගේ වහලක් නැති ව නගාගත්) යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛ ය, සමුදය ය, නිරෝධය ය, මාර්‍ගය ය යන ඒ (චතුස්සත්‍ය) ධර්‍මය ප්‍රකාශ කළ සේක. යම්සේ පහවූ කළු ඇති ශුද්ධ වස්ත්‍රයක් මොනොවට රඳන් ගන්නේ වේ ද, එසෙයින් ම මට එ හුන් අස්නෙහි මැ, සමුදය, ස්වභාව ඇති යමක් ඇත් ද, ඒ හැම නිරෝධ ස්වාභාව ඇතැයි විරජ වූ වීතමල වූ ධර්‍මචක්‍ෂුස පහළ වී.
වහන්ස, ඒ මම වනාහි දුටුදහම් ඇතියෙම් ප්‍රකට කොට දත් දහම් ඇතියෙම් බැසගත් දහම් ඇතියෙම් ඉක්මවූ විචිකිච්ඡා ඇතියෙම් පහ වූ කථඞ්කථා (කෙසේ ද කෙසේදැයි කරන සැක) ඇතියෙම් වෙසරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (ධර්‍මාවබෝධයට) අන් ප්‍රත්‍යයක් (පිහිටක්) නැත්තෙම් එහිදී ම ඒ බුදුන් ද දහම් ද සඟුන් ද කරණ කොට ගියෙමි. බඹසර පස් වනු කොට ඇති සිකපද (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් වීමි. වහන්ස, මෙ මාගේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත.
3. වහන්ස, ඒ මට තරුණ භාර්‍ය්‍යාවෝ සිවුදෙනෙක් වූහ. වහන්ස, ඉක්බිත්තෙන් මම ඒ භාර්‍ය්‍යාවෝ යම් තෙනෙක්හි වූ ද, එතන්හි එළැඹියෙමි. එළැඹ ඒ භාර්‍ය්‍යාවනට තෙල කීමි: සොහොවිරියනි, මා විසින් බඹසර පස් වනු කොට ඇති සිකපදයෝ සමාදන්ව ගන්නා ලදහු ය. යම් ස්ත්‍රියක් කැමැති වේ නම් ඕතොමෝ මෙහි ම (හිඳ) භෝගයන් ද අනුභව කෙරේවා! සිය නෑ කුලයන් කරා හෝ යේවා! පුරුෂයන් පිළිබඳ අදහස් ඇති හෝ වේ නම් කවරක් හට තොප දෙම් දැයි. වහන්ස, මෙසේ කී කල්හි දෙටු භාර්‍ය්‍යා තොමෝ මට මෙය කී: ආර්‍ය්‍යපුත්‍රය, මා මෙ නම් ඇති පුරුෂයාහට දෙව යි.
වහන්ස, එකල මම ඒ පුරුෂයා කැඳවා වමතින් භාර්‍ය්‍යාව අල්ලාගෙන දකුණතින් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂහට අත පැන් වඩා දිනිමි. වහන්ස, තරුණ භාර්‍ය්‍යාව හරනෙම් මම සිතෙහි වෙනස් බවක් නො දනිමි. වහන්ස, මාගේ මේ තෙවන අසිරි අබුතු දහම ඇත.