8. 1. 3. 6.
ජීවක සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර ජීවක වෙදහුගේ අඹවනයෙහි වැඩ වසන සේක. එකල්හි කෝමාරභච්ච ජීවක භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින, එකත්පසෙක හුන් කෝමාරභච්ච ජීවක භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය:
වහන්ස, කො පමණෙකින් උපාසකයෙක් වේ ද?
ජීවක ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, ජීවක මෙ පමණකින් ම උපාසකයෙක් වේ යයි.
වහන්ස, කොපමණෙකින් උපාසක සිල් ඇත්තේ වේ ද:
ජීවක ය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද ... මදයට හා ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුණේ වේ ද, ජීවක, මෙ පමණකින් ම උපාසක සිල් ඇත්තේ වෙයි.
වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?
ජීවකය, යම් දිනෙක් පටන් උපාසක තෙමේ සැදැහැයෙන් යුතු වූයේ මෙරමා ශ්රද්ධාසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, ... තෙමේ අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න වූයේ මෙරමා ධර්මානුධර්මප්රතිපත්තියෙහි සමාදන් නො කරවා ද, ජීවකය, මෙපමණෙකින්ම උපාසක තෙමේ තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
වහන්ස, උපාසක තෙමේ කොපමණෙකින් තමනට හිත පිණිස පිළිපන්නේත් අනුනට හිත පිණිස පිළිපන්නේත් වේ ද?
ජීවකය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුක්ත වූයේ මෙරමාත් ශ්රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ශීලයෙන් යුක්ත වූයේ මෙරමාත් ශීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්යාගයෙන් යුතු වූයේ මෙරමාත් ත්යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ මෙරමාත් මහණුන් දකිනු කැමැත්තෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ මෙරමාත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාවය කොට ඇත්තේ මෙරමාත් දහම් දැරීමෙහි සමාදන් කරවා ද, තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමාත් අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද, තෙමේත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න වූයේ මෙරමාත් ධර්මානුධර්මප්රතිපත්තියෙහි සමාදන් කරවා ද ජීවක, මෙපමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
8. 1. 3. 7.
බල සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ බල අටෙකි. කවර අටෙකැ යත්: මහණෙනි, ළදරුවෝ හැඬීම බල කොට ඇත්තෝ ය. මාගම ක්රෝධය බල කොට ඇත්තී ය. සොරු ආවුධ බල කොට ඇත්තෝ ය. රජවරු ඓශ්චර්ය්යය බල කොට ඇත්තෝ ය. අඥානයෝ උදහස්වීම (ක්රෝධචිත්තය ම දැඩි ව ගැනීම) බල කොට ඇත්තෝ ය. පණ්ඩිතයෝ වැඩ අවැඩ නිශ්චය කොට අවබෝධ කර වීම බලකොට ඇත්තෝ ය. බහුශ්රැතයෝ පස්විකුම් බලකොට ඇත්තෝ ය. මහණබමුණෝ ඉවසීම බල කොට ඇත්තෝ ය. මහණෙනි, මේ අට බලයෝ වෙති යි.