8. 1. 3. 5.
මහානාම සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුර න්‍යග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය:
වහන්ස, කො පමණකින් උපාසකයෙක් වේ දැයි:
මහානාම ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, මහානාමය, මෙ පමණකින් උපාසක වේ.
වහන්ස, කො පමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ ද:
මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද, අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයන්හි මිසහසරින් වැළකුණේ වේ ද, මුසවායෙන් වැළැකුණේ වේ ද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේ ද, මහානාමය, මෙපමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ.
වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?
මහානාමය, යම් දිනෙක් පටන් උපාසක තෙමේ, සැදැහැයෙන් යුතු වූයේ මෙරමා ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ සීලයෙන් යුතු වූයේ මෙරමා සීලසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ ත්‍යාගයෙන් යුතු වූයේ මෙරමා ත්‍යාගසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ මහණුන් දකිනු කැමැත්තේ මෙරමා මහණුන් දැක්මෙන් සමාදන් නො කරවා ද, තෙමේ සදහම් අසනු කැමැත්තේ මෙරමා සදහම් ඇසීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ ඇසූ දහම් දරණ ස්වභාවය ඇත්තේ මෙරමා දහම් දැරීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමා අරුත් පිරික්සීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමා ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් නො කරවා ද, මහානාමය, මෙපමණෙකින් ම උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ.
වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ දැ යි?
මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ මෙරමාත් ශ්‍රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද, තෙමේත් සීලයෙන් යුතු වූයේ මෙරමාත් සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේත් මෙරමාත් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ මෙරමාත් මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ මෙරමාත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ මෙරමාත් දහම් දැරීමෙහි සමාදන් කරවා ද තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමාත් අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද තෙමේත් අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමාත් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද, මහානාමය, මෙ පමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ය යි.
8. 1. 3. 6.
ජීවක සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ජීවක වෙදහුගේ අඹවනයෙහි වැඩ වසන සේක. එකල්හි කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින, එකත්පසෙක හුන් කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය:
වහන්ස, කො පමණෙකින් උපාසකයෙක් වේ ද?
ජීවක ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, ජීවක මෙ පමණකින් ම උපාසකයෙක් වේ යයි.
වහන්ස, කොපමණෙකින් උපාසක සිල් ඇත්තේ වේ ද:
ජීවක ය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද ... මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුණේ වේ ද, ජීවක, මෙ පමණකින් ම උපාසක සිල් ඇත්තේ වෙයි.