8. 1. 3. 4.
හත්‍ථකආළවක සඞ්ගහවත්‍ථු සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර අග්ගාළව චෛත්‍යස්ථානයෙහි වැඩ වසන සේක. ඉක්බිති හත්‍ථක ආළවක තෙමේ පන්සියයක් පමණ උවසුවන් විසින් පිරිවරන ලදුයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් හත්‍ථක ආළවක හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
“හත්‍ථකය, තොප ගේ මේ පිරිස මහත් ය, හත්‍ථකය කෙසේ නම් තෙපි මේ මහ පිරිස සඞ්ග්‍රහ කරවු දැයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් මේ සතර සඞ්ග්‍රහ වස්තු කෙනෙක් වෙත් ද, එයින් මම මේ මහපිරිස සගන්මි. වහන්ස, මම යමකු ‘මේ තෙමේ දානයෙන් සඞ්ග්‍රහ කටයුත්තෙකැයි දනිම් ද, දානයෙන් ඔහු සගන්මි. යමකු ‘මෙ තෙමේ ප්‍රිය වචනයෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ප්‍රිය වචනයෙන් ඔහු සඟන්මි. යමකු ‘මෙ තෙමේ අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ඔහු අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සඟන්මි. යමකු ‘මෙ තෙමේ සමානාත්මතායෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ඔහු සමානාත්මතායෙන් සගන්මි. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත. ඇසිය යුතු තෙපුල දිළින්දකු ගේ බඳු කොට නො හඟිත්. (දිළින්දකු නොවූ මාගේ ඔවා නො ඉක්මවිය යුතු කොට හඟිත්යි සේ යි.)
හත්‍ථක, ඉතා මැනවි, හත්‍ථකය, මහපිරිස සැඟැහීමට තොප ගේ මේ උපාය වේ. හත්‍ථකය, යම් කිසිවෙක් ඉකුත් කල මහ පිරිස් සැඟැහු නම් ඒ සියලු දෙන මේ සිව්සඟරාවතින් ම මහපිරිස් සඟන්හ. හත්‍ථකය, යම් කෙනෙක් මතු කල්හි මහපිරිස් සඟන්නාහු ද ඒ සියලු දෙන මේ සිව්සඟරාවතින් ම මහපිරිස් සඟන්නාහ.
හත්‍ථකය, යම් කිසි කෙනෙක් දැන් මහපිරිස් සගන්නාහු නම් ඒ සියලු දෙන මේ සිවුසඟරා වතින් ම මහපිරිස් සගන්නාහ යි. ඉක්බිති හත්‍ථක ආළවක භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරන ලද්දේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්‍ථක ආළවකයන් නැඟී ගිය නොබෝ කල්හි භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, හත්‍ථක ආළවක අෂ්ටආශ්චර්‍ය්‍යාද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත කොට දරවු. කවර අටෙකින යත්:
මහණෙනි, හත්‍ථක ආළවක සැදැහැත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක සිල් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පවට ලජ්ජා ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පවට බිය ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක බොහෝ ඇසු පිරූ තැන් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක ත්‍යාග ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පැනැත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක අපිස්ගුණ ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත කොට ධරව යි.