8. 1. 3. 2.
හත්‍ථිගාමක උග්ග සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙහි හස්ති ග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ...
‘මහණෙනි, ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි දරවු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ඇත්ගම්වැසි උග්‍ර ගෘහපතිහු ගේ නිවසට එළැඹියේ ය. එළැඹ පැනවූ අස්නෙහි හුන්නේ ය. ඉක්බිති ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති තෙමේ එ මහණහු වෙත එළැඹියේ ය. එළැඹ එ මහණහු වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ඇත්ගම් වැසි උග්‍ර ගෘහපතිහට එ මහණ මෙය කීය:
ගැහැවිය, තෙපි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු ය. ගෘහපතිය, යම් ධර්‍ම අටෙකින් තෙපි සමන්‍විත හ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දහු ද, ඒ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කවර හුද?
වහන්ස, මම කවර නම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දෙම් ද, එය මම නොදනිම් ම ය. වහන්ස එතකුදු වුවත් මාගේ යම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මකෙනෙක් වෙත් නම් ඔවුන් අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි යි. එසේ ය ගෘහපතිය යි එ මහණ ඇත්ගම්වැසි උග්‍ර ගෘහපති හට පිළිවදන් ඇස්වී ය. ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති මෙය කීය:
1. වහන්ස, යම් කලෙක මම නාගවන නම් උයනෙහි ඉඳුරන් පිනවමින් හැසිරෙන්නෙම් පළමු කොට දුරදී ම භාග්‍යවතුන් වහන්සේ දිටිම් ද, භාග්‍යවතුන් වහන්සේගේ දැකීම හා සමග ම මාගේ සිත පහන් විය. සුරාමදය ද පහවී ය. වහන්ස, මාගේ මේ ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
2. වහන්ස, පහන්සිත් ඇති මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසිරි කෙළෙමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව වදාළ සේක. එනම්: දානකථාව ද සීලකථාව ද සග්ගකථාව ද කාමයන්ගේ ආදීනව ය ලාමක බව කිලිටි බව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ අරෝග සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔද වැඩි සිත් ඇති පහන් සිත් ඇති මා දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධර්‍මදේශනාවක් වේ ද, දුක්ඛ ය සමුදය ය නිරෝධ ය මාර්‍ගය යන ඒ (චතුස්සත්‍ය) ධර්‍මය වදාළ සේක. යම්සේ පහ වූ කළු බව (කිලිටි) ඇති සුදු වතෙක් මොනොවට රඳන් පිළිගන්නේ ද, එ පරිද්දෙන් ම ඒ අසුනෙහි ම සමුදය ස්වභාව ඇති යමක් ඇත් ද, එ හැම නිරෝධ ස්වභාව ඇතැයි පහවූ (රාගාදි) රජස් ඇති පහ වූ (රාගාදි) කිලිටි ඇති දහම් ඇස (අනගැමි මඟ) පහළ විය.
වහන්ස, ඒ මම දක්නා ලද (ආර්‍ය්‍යසත්‍ය) ධර්‍ම ඇත්තෙම් පැමිණි දහම් ඇත්තෙම් බැසගත් දහම් ඇත්තෙම් තරණය කළ විචිකිච්ඡා ඇත්තෙම් පහවූ කථඞ්කථා (සැක) ඇත්තෙම් විසාරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (අනෙකක්හු හැදැහීමෙන් පැවැත්මක් නැතියෙන්) පරප්‍රත්‍යය රහිතයෙම් එහිදී ම බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට ගියෙමි. බඹසර පස්වනු කොට ඇති සිකපදයන් (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් කොට ගතිමි. වහන්ස, මාගේ මෙ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.