8. 1. 2. 9.
පහාරාද සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වේරඤ්ජා නගරයෙහි නලෙරු නම් (යක්ෂාධිගෘහිත) කොහොඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි පහාරාද නම් අසුරේන්ද්රයා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය, එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පසෙක සිටි පහාරාද අසුරේන්ද්රයාට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. පහාරාදය, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් දැයි?
වහන්ස, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් යි.
පහාරාද, යම් ආශ්චර්ය්ය කෙනකුන් දක්මින් අසුරයෝ මහා සමුද්රයෙහි සිත් අලවා වෙසෙත් නම් ඒ ආශ්චර්ය්ය අද්භූත ධර්මයෝ කෙතෙක් දැයි?
වහන්ස, යම් ආශ්චර්ය්ය කෙනෙකුන් පුන පුනා දැක අසුරයෝ මහාසමුද්රයෙහි සිත් අලවා වෙසෙත් නම් එබඳු ආශ්චර්ය්ය අද්භූත ධර්මයෝ අටදෙනෙක් වෙත්. කවර අට දෙනෙක යත්:
1. වහන්ස, මහසයුර අනුපූර්ව නිම්න යි, (පිළිවෙළින් ගැඹුරු වූයේ වෙයි), අනුපූර්වප්රවණ යි, (පිළිවෙළින් නැමුනේ වෙයි), අනුපූර්ව ප්රාග්භාර යි, (පිළිවෙළින් ඉදිරියට බරවූයේ වෙයි), ආදියෙහි ම ගැඹුරු නො වෙයි. වහන්ස, යම් හෙයකින් මහසයුර අනුපූර්ව නිම්න වේ ද, අනුපූර්වප්රවණ වේ ද, අනුපූර්වප්රාග්භාර වේ ද, ආදියෙහි ම නො ගැඹුරු වේ ද, වහන්ස, යම් හෙයකින් යමක් පුනපුනා දක්මින් මහසයුරෙහි සිත් අලවා වෙසෙත් නම් මෙ මහසයුරෙහි ප්රථම ආශ්චර්ය්ය අද්භූත ධර්මය වෙයි.
2. තවද වහන්ස, පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවයි. වහන්ස, යම් හෙයෙකින් පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවා නම්, වහන්ස, යමක් පුනපුනා දක්මින් අසුරයෝ මහසයුරෙහි සිත් අලවා වෙසෙත් ද, මේ මහසයුරෙහි දෙවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය යි..
3. තවද වහන්ස, මහසයුර මළකුණු හා නො වෙසෙයි. මහසයුරෙහි යම් බඳු මළකුණපයක් වේ නම් එය වහා ම තෙරට පමුණුවයි. (රළ පහරින්) ගොඩ නංවයි. වහන්ස, යම් හෙයෙකින් මහසයුර මළකුණපයන් හා නො වෙසේ ද, මහසයුරෙහි යම්බඳු මළකුණපයෙක් වේ නම් ඒ වහා ම තෙරට පමුණුවා ද, ගොඩ නංවා ද, වහන්ස, අසුරයෝ මහමුහුදෙහි යමක් පුනපුනා දැක සිත් අලවා වෙසෙත් නම් මේ මහසයුරෙහි තෙවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය යි.
4. තවද වහන්ස, යම්කිසි මහානදීහු වෙත්ද, එනම්: ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය කියා යි. ඔහු මහසයුරට පැමිණ පළමු නම් ගොත් හැරලත්. මහාසමුද්රය යි ම සඞ්ඛ්යාවට යෙති. වහන්ස, යම් හෙයෙකින් ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය යන යම් බඳු මහානදීහු වෙත් නම් ඔහු මහසයුරට පැමිණ පළමු නම් ගොත් හැරලත් ද, මහාසමුද්රයයි ම සඞ්ඛ්යාවට යෙත් ද, වහන්ස, යම් හෙයෙකින් අසුරයෝ යමක් පුනපුනා දක්මින් මහාසමුද්රයෙහි අභිරමණය කෙරෙත් නම් මේ සිවුවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය යි.
5. තවද වහන්ස, ලෙව්හි යම්බඳු (කුදුමහත්) නදීහු මහමුහුදට වැද ගනිත් ද, අහසින් යම්බඳු වෘෂ්ටිධාරාවෝ වැටෙත් ද, ඉන් මහසයුරෙහි උනුබවෙක් වේවයි, පිරුණුබවෙක් වේවයි නො පැනේ. වහන්ස, යම් හෙයෙකින් ලොව්හි යම්බඳු කුදුමහත් නදීහු මහමුහුදට වැදගනිත් නම් අහසින්යම්බඳු වෘෂ්ටිධාරාවෝ හෙත් නම්, ඉන් මහසයුරෙහි උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද, වහන්ස, යමක් පුනපුනා දැක අසුරයෝ මහමුහුදෙහි අභිරමණය කෙරෙත් නම් මහසයුරෙහි මේ පස්වන ආශ්චර්ය්ය අද්භූත ධර්මය යි.
6. තවද වහන්ස, මහසයුර එක ම රස ඇතියේ ලුණුරස ඇතියේ වෙයි. වහන්ස, යම් හෙයෙකින් ඒකරස වූ මහසයුර ලුණුරස ඇතියේ වේ ද, වහන්ස, අසුරයෝ යමක් පුනපුනා දැක මහසයුරෙහි අභිරමණය කෙරෙත් නම් මහසයුරෙහි මේ සවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය යි.
7. තවද වහන්ස, මහාසමුද්රය බොහෝ රුවන් ඇතියේ නන් රුවන් ඇතියේ වෙයි. එහිලා මේ රත්නයෝයි. එනම්: මුතු ය, මිණි ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පියුම්රා ය, මැසිරිගල් ය යන මොහු යි. වහන්ස, යම් හෙයෙකින් මහා සමුද්රය බහුරත්න වූයේ අනේකවිධ රත්න ඇති වේ ද, එහිලා මේ රත්නයෝයි. එනම්: මුතු ය, මිණි ය, වෙරළු ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රුවන් ය, පියුම්රා ය, මැසිරිගල් ය යන මොහු යි. වහන්ස, යමක් පුනපුනා දැක අසුරයෝ මහසයුරෙහි අභිරමණය කෙරෙත් නම් මේ සත්වන ආශ්චර්ය්ය අද්භූත ධර්මය යි.
8. තවද වහන්ස, මහමුහුද මහසත්නට ආවාස වෙයි. එහි මේ සත්හුය: තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගන්ධර්වයෝ ය යන මොහු යි. මහමුහුදෙහි සියක් යොදුන් ඇති ආත්මභාවයෝ ද දෙසිය යොදුන් ආත්මභාවයෝ ද තෙසිය යොදුන් ආත්මභාවයෝ ද සිවුසිය යොදුන් ආත්මභාවයෝ ද පන්සිය යොදුන් ආත්මභාවයෝ ද වෙති.