8. 1. 2. 10.
උපෝසථ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එ දවස බික්සඟුන් පිරිවරා වැඩ හුන්නාහු වෙති. එ කල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඉකුත් බොහෝ කල් ඇති රාත්‍රියෙහි පළමු යම ඉකුත් කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
වහන්ස, රෑ ඉක්ම බොහෝ කල් ඇත, පළමු යම නික්ම ගියේ ය, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තාහු වෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්ව යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. දෙවන වටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඉක්ම ගිය බොහෝ කල් ඇති රාත්‍රියෙහි මැදුම් යම ඉකුත් කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙය සැළ කෙළේය:
වහන්ස, රෑ ඉකුත් බොහෝ කල් ඇත, මැඳුම් යම නික්ම ගියේ ය, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තාහු වෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්වා යි, භාග්‍යවතුන් වහන්සේ දෙවන වටත් තුෂ්ණීම්භූත වූ සේක. තෙවන වට ද ඇවැත් ආනන්‍ද තෙර ඉකුත් බොහෝ කල් ඇති රැයෙහි පැසුළු යම ඉක්ම ගිය කල්හි අරුණ නැඟි කල්හි රැය පහන් වූ කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වහන්ස, රාත්‍රි තොමෝ ඉකුත් බොහෝ කල් ඇත්තී ය. පැසුළු යම ඉක්ම ගියේ ය. අරුණ නැංගේ ය. රාත්‍රි තොමෝ නන්‍දිමුඛී වෙයි, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තා හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්ව යි, මෙය සැලකළේ ය.
ආනන්‍දය, පිරිස අපිරිසුදු ය යි (වදාළහ.) එ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුනට මේ සිත විය: කවර නම් පුඟුලකු සඳහා භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්‍දය, පිරිස අපිරිසුදු ය’ යි මෙසේ වදාළ සේක් දැයි. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සිය සිතින් හැම බික්සඟුන් සිතින් සිත පිරිසිඳ බලා මෙනෙහි කළහ.
ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ දුසිල් වූ ලමු දහම් ඇති අපවිත්‍ර කර්‍ම ඇති සැකයෙන් සිහි කටයුතු හැසිරීම් ඇති පිළිසන්කම් ඇති අශ්‍රමණ වූ ශ්‍රමණයෙමියි කරන ප්‍රතිඥා ඇති අබ්‍රම්සැරි වූ බඹසැරිමි සන පිළිණ ඇති ඇතුළත කුණු වූ කෙලෙසින් තෙත් වූ උපන් කෙලෙස් මඩ ඇති බික්සඟුන් මැද හුන් ඒ පුඟුලා දුටහ. දැක හුනස්නෙන් නැඟි ඒ පුඟුල් වෙත එළඹියහ. එළඹ ඒ පුඟුල් හට මෙය කීහ: “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි.
මෙසේ කී කල්හි ඒ පුද්ගල තුෂ්ණීම්භූත විය, දෙවන වටත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුල්හට මෙය කීහ. “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි. දෙවන වටත් ඒ පුඟුල් තුෂ්ණීම්භූත විය. තෙවන වටත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුල්හට මෙය කීහ. “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි. තෙවන වටත් ඒ පුඟුල් තුෂ්ණීම්භූත විය.
එකල ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ එ පුඟුල්හු බාහුයෙහි ගෙන බිහිදොර කොටුවෙන් නෙරා දොරගුළු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්‍යවතුනට මෙය සැළ කළහ: