2. මහා වර්ගය
8. 1. 2. 1.
වේරඤ්ජ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වේරඤ්ජා නම් නගරයෙහි නලෙරු නම් (යකකු අරක්ගත් හෙයින් එනම් වූ) කොසඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි වේරඤ්ජ නම් බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනයට නිසි වූ සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් වේරඤ්ජ බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
භවත් ගෞතමයෙනි, ‘මහණ ගොයුම්හු ජරාජීර්ණ වූ වයෝවෟද්ධ වූ ජාතිමහල්ලක වූ තුන් වයස් ඉක්ම වූ තුන්වන වියට පත් බමුණන් නො වඳනාහ යි ද දැක හුනස්නෙන් නො නැඟී සිටුනාහ යි ද අස්නෙන් හෝ නිමන්ත්රණ නො කරන්නා හ යි ද’ යන තෙල කරුණ මා විසින් අසන ලද. භවත් ගෞතමයෙනි, මෙ කරුණ එසේ ම ය. භවත් ගෞතමයෝ ජරාජීර්ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් ඉක්ම ගිය අවසන් වියට පත් බමුණන් නො වඳනාහ. දැක ද හුනස්නෙන් නැඟී නො සිටුනාහ. අස්නෙන් හෝ නො ද පවරන්නාහ. භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො නිසි මැ යි.
බ්රාහ්මණය, මම යමකු වදනෙම් නම් හෝ දැක හුනස්නෙන් නැඟී සිටුනෙම් හෝ අස්නෙන් පවරන්නෙම් නම් හෝ එබන්දකු මරුන් සහිත, බඹුන් සහිත, සදෙව් ලොව්හි මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්වාඛ්ය ප්රජායෙහි ලා නො දක්මි. බ්රාහ්මණය, තථාගත තෙම යම් ම පුඟුලකු වඳියි නම් හෝ දැක හුනස්නෙන් නැඟී සිටී නම් හෝ අස්නෙන් පවරයි නම් හෝ ඔහු මුදුන ද ගිලිහෙන්නේ ය.
1. භවත් ගෞතමයෝ අරසරූප (සමඟරස සැහැවි නැති) යහ යි.
බ්රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙන් ‘ශ්රමණ භවත් අරසරූපයෙකැ’යි මට කියා නම්, මේ එ කරුණ යි බ්රාහ්මණය, යම් (කාම සුඛාස්වාද සඞ්ඛ්යාත) රූප රස කෙනෙක්, ශබ්ද කෙනෙක්, ගන්ධ රස කෙනෙක්, රස රස කෙනෙක්, ස්ප්රෂ්ටව්ය රස කෙනෙක් වෙත් නම්, තථාගතයනට ඔහු ප්රහීණයහ, උසුන් මුල් ඇතියහ, තාලාවස්තු කෘතයහ, අනභාව කරන ලදහ, මත්තෙහි නූපදනා සැහැවි ඇතියහ. බ්රාහ්මණය, යම් කරුණෙකින් මොනවට කියනුයෙක් ‘ශ්රමණ භවත් ගෞතම අරසරූපයෙකැ’යි මා ගෙන කියා නම් මේ ඒ පර්ය්යාය වෙයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම් එය නො වේ මැයි.
2. භවත් ගෞතමයෝ නීර්භෝගයහ. (සාමග්රීපරිභෝග නැත්තාහ)
බ්රාහ්මණය, යම් පර්ය්යායයෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්රමණ භවත් ගෞතමයෝ නීර්භෝගයහ’යි මා ගෙන කියන්නේ නම් තෙල කරුණ ඇත් මැයි. බ්රාහ්මණය, යම් (ඡන්දරාගපරිභොග සඞ්ඛ්යාත) රූපභෝග කෙනෙක්, ශබ්ද භෝග කෙනෙක්, ගන්ධ භෝග කෙනෙක්, රස භෝග කෙනෙක්, ස්ප්රෂ්ටව්ය භෝග කෙනෙක් වන්නාහු නම් ඔහු තථාගතයනට ප්රහීණයහ, උසුන් මුල් ඇතියහ, තාලාවස්තු කෘතයහ, අනභාවකෘතයහ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ. බ්රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්රමණ භවත් ගෞතමයෝ නිර්භෝගයහ’යි මා ගෙන කියන්නේ නම් මේ ඒ කරුණයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම් එ නො වේ.
3. භවත් ගෞතමයෝ අක්රිය වාදයහ. (කුලසමුදාචාර කර්ම නො කරන්නෙක)
බ්රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට බණනුයේ ‘ශ්රමණ භවත් ගෞතමයෝ අක්රිය වාද ඇතියහ’යි මා ගෙන කියන්නේ නම් තෙල පර්ය්යාය ද ඇත. බ්රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාක්දුශ්චරිතය, මනෝදුශ්චරිතය නො කටයුතු යයි කියමි. නොයෙක් අයුරින් කරනු ලබන ලමු අකුසල දහම් නොකටයුතු යයි කියමි. බ්රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට බණනුයේ ‘ශ්රමණ භවත් ගෞතමයෝ අක්රියවාදයහ’යි මා ගෙන කියන්නේ නම් මේ ඒ පර්ය්යායයි. තෝ යමක් සඳහා කියනෙහි නම් එය නොවේ.
4. භවත් ගෞතමයෝ උච්ඡේදවාද (ලෝකප්රවේණිය මුලුසුන් කරන වාද) ඇතියහ.
බ්රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙකින් ශ්රමණ භවත් ගෞතම උච්ඡේදවාද ඇත්තෙකැයි මා ගෙන කියා නම්, තෙල කරුණ ඇත් මැයි. බ්රාහ්මණය, මම් වනාහි රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ උච්ඡේදය කියමි. නන්වැදෑරුම් වූ ලමු අකුසල් දහමුන්ගේ උච්ඡේදය කියමි. බ්රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්රමණ භවත් ගෞතමයෝ උච්ඡේදවාද ඇතියහ’යි මා ගෙන කියා නම්, මේ ඒ පර්ය්යාය වෙයි. යම් කරුණෙක් සඳහා තෝ කියහි නම් එය නො වේ මැ යි.