8. 1. 2. 6.
දූතෙය්‍ය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ දූතකර්‍මයට යාමට සුදුසු වේ. කවර අට කරුණින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අසනුයේත් අස්වනුයේත් වෙයි. උගන්නේත් ධරන්නේත් වෙයි. විඥවූයේත් (අර්‍ත්‍ථානර්‍ත්‍ථයෙහි අරුත් දන්නේත්) විඥාපනය කරනුයේත් වෙයි. සහිත අසහිත දෙක්හි කුශල වූයේත් වෙයි. කලහ කරනුයේ ද නො වේ. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත වු මහණ දූතකර්‍මයට යාමට සුදුසු වෙයි.
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත ශාරිපුත්‍ර දූතකර්‍මයට යාමට යෝග්‍ය වෙයි. කවර අට කරුණින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත් අසනුයේත් අස්වසනුයේත් වෙයි, උගනුයේත් වෙයි, විජානන කරනුයේත් විඥාපන කරනුයේත් වෙයි, සහිත අසහිතයෙහි කුශලවූයේත් වෙයි. කලහකාරක ද නො වේ. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත වූ ශාරිපුත්‍ර දූතමෙහෙවරට යාමට යෝග්‍ය වේ.
1. යමෙක් උග්‍රවාදී පිරිසට පැමිණ නො සැලේ ද, වදන් නො නසනුයේ ද, ශාසනයත් නො සඟවයි ද,
2. නිසැක කොට කියාද, පුළුවුස්නා ලදුයේ නො කිපේ ද, එබඳු එ මහණ ඒකාන්තයෙන් දූත මෙහෙවරට යාමට සුදුසු වේ.
8. 1. 2. 7.
පුරිසබන්‍ධන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අට අයුරෙකින් මාගම පුරුෂයා බඳියි. කවර අටෙකින යත්:
මහණෙනි, රූපයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, හසිතයෙන් (සිනායෙන්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, බිණුමෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, ගීතයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මාගම රෝදනයෙන් (හැඬුමෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, මාගම ආකල්පයෙන් (හැඳුම් පෙරවුම් ඈ විධියෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් (වනයෙන් ගෙනා මල්පල ඈ තුටු පඬුරින්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, පහසින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මේ අට අයුරින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පහසින් බැඳුණාහු වෙත් නම් ඔහු මොනොවට (තරව) බැඳුණාහු වෙති යි.
8. 1. 2. 8.
ඉත්‍ථිබන්‍ධන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අට අයුරකින් පුරුෂයා මාගම බඳියි. කවර අටෙකින යත්:
මහණෙනි, රූපයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, හසිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, භණිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ගීතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, රෝදනයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ආකල්පයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ස්පර්‍ශයෙන් පුරුෂයා මාගම බඳී. මහණෙනි, මේ අට අයුරින් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, යම් සත්‍ව කෙනෙක් පහසින් බඳනා ලද්දාහු ද ඔහු මොනොවට බැඳුණාහු වෙතියි.