8. 1. 2. 7.
පුරිසබන්ධන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අට අයුරෙකින් මාගම පුරුෂයා බඳියි. කවර අටෙකින යත්:
මහණෙනි, රූපයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, හසිතයෙන් (සිනායෙන්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, බිණුමෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, ගීතයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මාගම රෝදනයෙන් (හැඬුමෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, මාගම ආකල්පයෙන් (හැඳුම් පෙරවුම් ඈ විධියෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් (වනයෙන් ගෙනා මල්පල ඈ තුටු පඬුරින්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, පහසින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මේ අට අයුරින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් පහසින් බැඳුණාහු වෙත් නම් ඔහු මොනොවට (තරව) බැඳුණාහු වෙති යි.
8. 1. 2. 8.
ඉත්ථිබන්ධන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අට අයුරකින් පුරුෂයා මාගම බඳියි. කවර අටෙකින යත්:
මහණෙනි, රූපයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, හසිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, භණිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ගීතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, රෝදනයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ආකල්පයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ස්පර්ශයෙන් පුරුෂයා මාගම බඳී. මහණෙනි, මේ අට අයුරින් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, යම් සත්ව කෙනෙක් පහසින් බඳනා ලද්දාහු ද ඔහු මොනොවට බැඳුණාහු වෙතියි.
8. 1. 2. 9.
පහාරාද සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වේරඤ්ජා නගරයෙහි නලෙරු නම් (යක්ෂාධිගෘහිත) කොහොඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි පහාරාද නම් අසුරේන්ද්රයා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය, එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පසෙක සිටි පහාරාද අසුරේන්ද්රයාට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. පහාරාදය, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් දැයි?
වහන්ස, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් යි.
පහාරාද, යම් ආශ්චර්ය්ය කෙනකුන් දක්මින් අසුරයෝ මහා සමුද්රයෙහි සිත් අලවා වෙසෙත් නම් ඒ ආශ්චර්ය්ය අද්භූත ධර්මයෝ කෙතෙක් දැයි?
වහන්ස, යම් ආශ්චර්ය්ය කෙනෙකුන් පුන පුනා දැක අසුරයෝ මහාසමුද්රයෙහි සිත් අලවා වෙසෙත් නම් එබඳු ආශ්චර්ය්ය අද්භූත ධර්මයෝ අටදෙනෙක් වෙත්. කවර අට දෙනෙක යත්:
1. වහන්ස, මහසයුර අනුපූර්ව නිම්න යි, (පිළිවෙළින් ගැඹුරු වූයේ වෙයි), අනුපූර්වප්රවණ යි, (පිළිවෙළින් නැමුනේ වෙයි), අනුපූර්ව ප්රාග්භාර යි, (පිළිවෙළින් ඉදිරියට බරවූයේ වෙයි), ආදියෙහි ම ගැඹුරු නො වෙයි. වහන්ස, යම් හෙයකින් මහසයුර අනුපූර්ව නිම්න වේ ද, අනුපූර්වප්රවණ වේ ද, අනුපූර්වප්රාග්භාර වේ ද, ආදියෙහි ම නො ගැඹුරු වේ ද, වහන්ස, යම් හෙයකින් යමක් පුනපුනා දක්මින් මහසයුරෙහි සිත් අලවා වෙසෙත් නම් මෙ මහසයුරෙහි ප්රථම ආශ්චර්ය්ය අද්භූත ධර්මය වෙයි.
2. තවද වහන්ස, පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවයි. වහන්ස, යම් හෙයෙකින් පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවා නම්, වහන්ස, යමක් පුනපුනා දක්මින් අසුරයෝ මහසයුරෙහි සිත් අලවා වෙසෙත් ද, මේ මහසයුරෙහි දෙවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය යි..
3. තවද වහන්ස, මහසයුර මළකුණු හා නො වෙසෙයි. මහසයුරෙහි යම් බඳු මළකුණපයක් වේ නම් එය වහා ම තෙරට පමුණුවයි. (රළ පහරින්) ගොඩ නංවයි. වහන්ස, යම් හෙයෙකින් මහසයුර මළකුණපයන් හා නො වෙසේ ද, මහසයුරෙහි යම්බඳු මළකුණපයෙක් වේ නම් ඒ වහා ම තෙරට පමුණුවා ද, ගොඩ නංවා ද, වහන්ස, අසුරයෝ මහමුහුදෙහි යමක් පුනපුනා දැක සිත් අලවා වෙසෙත් නම් මේ මහසයුරෙහි තෙවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය යි.