8. 1. 2. 5.
මල සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ මල අටෙකි. කවර අටෙක යත්:
මහණෙනි, මන්ත්ර (ශාස්ත්ර) යෝ නො හැදෑරීම මල කොට ඇත්තාහ. මහණෙනි, ගෘහයෝ උත්ථානවීර්ය්යයාගේ අභාවය මල කොට ඇතියහ. මහණෙනි, සිරුරු පැහැයට කුසීතභාවය මලෙකි. මහණෙනි, (යම් අයත් දැයක්) රක්නහුට ප්රමාදය මලෙකි. මහණෙනි, මාගම්හට දුසිරිත් මලෙකි. මහණෙනි, දායකහාහට මසුරු බව මලෙකි. මහණෙනි, ලමු දහම් හු මෙලෝ පරලෝ දෙක්හි ම මල වෙත්. මහණෙනි, ඒ මලයනට වැඩි මල තරය නම් (අට තන්හි නො දැනීම වූ) අවිද්යා නමැති පරම මල යි. මහණෙනි, මොහු මල අට වෙත්.
1. මන්ත්රයෝ නො පිරිවැහීම මල කොට ඇතියහ. ගෘහයෝ අනුත්ථානය මල කොට ඇතියහ, ශරීර වර්ණයට කුසීත භාවය මල වේ. වස්තු රක්නහුට ප්රමාදය මල වේ.
2. මාගම්හට දුසිරිත මල යි. දෙනුවහට මසුරු බව මල යි. මෙලොව්හිත් පරලොව්හිත් ලමු දහම්හු එකැතියෙන් මල වෙත්. ඒ මලයනට වැඩි මලතර වූයේ අවිද්යා නමැති මහාමල වෙයි.
8. 1. 2. 6.
දූතෙය්ය සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු අටෙකින් සමන්වාගත මහණ දූතකර්මයට යාමට සුදුසු වේ. කවර අට කරුණින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අසනුයේත් අස්වනුයේත් වෙයි. උගන්නේත් ධරන්නේත් වෙයි. විඥවූයේත් (අර්ත්ථානර්ත්ථයෙහි අරුත් දන්නේත්) විඥාපනය කරනුයේත් වෙයි. සහිත අසහිත දෙක්හි කුශල වූයේත් වෙයි. කලහ කරනුයේ ද නො වේ. මහණෙනි, මේ අට කරුණින් සමන්වාගත වු මහණ දූතකර්මයට යාමට සුදුසු වෙයි.
මහණෙනි, කරුණු අටෙකින් සමන්වාගත ශාරිපුත්ර දූතකර්මයට යාමට යෝග්ය වෙයි. කවර අට කරුණින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත් අසනුයේත් අස්වසනුයේත් වෙයි, උගනුයේත් වෙයි, විජානන කරනුයේත් විඥාපන කරනුයේත් වෙයි, සහිත අසහිතයෙහි කුශලවූයේත් වෙයි. කලහකාරක ද නො වේ. මහණෙනි, මේ අට කරුණින් සමන්වාගත වූ ශාරිපුත්ර දූතමෙහෙවරට යාමට යෝග්ය වේ.
1. යමෙක් උග්රවාදී පිරිසට පැමිණ නො සැලේ ද, වදන් නො නසනුයේ ද, ශාසනයත් නො සඟවයි ද,
2. නිසැක කොට කියාද, පුළුවුස්නා ලදුයේ නො කිපේ ද, එබඳු එ මහණ ඒකාන්තයෙන් දූත මෙහෙවරට යාමට සුදුසු වේ.