8. 1. 2. 4.
ඛලුඞ්ක සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අශ්වපෝතකයන් අට දෙනෙකුන් ද අශ්වදෝෂ අටක් ද පුරුෂඛලුඞ්කයන් හෙවත් අස්කුණ්ඩයන් බඳු (පුරුෂයන්) අට දෙනෙකුන් ද පුරිස්දොස් අටක් ද දෙසන්නෙමි. ඒ අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමැ යි. ‘එසේය වහන්සැ’ යි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
1. මහණෙනි, අශ්වඛලුඞ්කයන් අට දෙන ද අස්දොස් අට ද කවරහ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පිටුපසට ඇදෙයි. පිටින් රිය පෙරළයි (කඳටින් විය උලා පසුපසින් රිය පෙරළමින් පසු බසී යූ සේ යි) මහණෙනි, මෙලොව්හි මෙ බඳු වූත් ඇතැම් අශ්වපෝතකයෙක් වෙයි. මහණෙනි, මේ පළමු අශ්වදෝෂ යි.
2. මහණෙනි, තව ද මෙ ලොව්හි අශ්වපෝතකයෙක් සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පසු දෙපා ඔසවා පහර දෙයි. (රියෙහි) කිඹුල්මුව (පිටුපා ඔසවා පහර දී) බිඳියි. (රිය ඉදිරිපස වූ) දඬුතුණ බිඳියි. මහණෙනි, මෙලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ දෙවන අශ්ව දෝෂ යි.
3. තවද මහණෙනි, මෙලොව්හි ඇතැම් ඛලුඞ්කාශ්වයෙක් රිය සැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ රියහිසෙහි කලවා ඝටා රියහිස ම මඩිමින් සිටියි. (හිස නමා විය බිම හෙළා කලවයෙන් රියහිසට පහර දී දෙපයින් රියහිස මඩිමින් සිටියි යූ සේ යි) මහණෙනි, මෙ ලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස් පොව්වෙක් වෙයි. මහණෙනි, මේ තෙවන අශ්වදෝෂයි.
4. මහණෙනි, තවද, මෙලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ නො මඟ ගනියි. (ගොඩට හෝ කටුළැහැබකට හෝ නංවා) රිය නො මඟ ගන්නා ලද්දක් කරයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ සිවුවන අශ්වදෝෂ යි.
5. මහණෙනි, තවද, මෙලොව්හි ඇතැම් අස්පොව්වෙක් සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟයි. පෙර පා තර කොට ගනියි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අශ්වඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ පස් වන අශ්වදෝෂ යි.
6. තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ සාරථීහු නො මෙනෙහි කොට කැවිට ද නො මෙනෙහි කොට දතින් මුව වළලු (කටකලියාව) ඩැහැගෙන කැමැතියේ යම් තෙනකට යයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අස්පොව්වෙක් වෙයි. මහණෙනි, මේ සවන අශ්වදෝෂ යි.
7. තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ ඉදිරියට නො ම යෙයි. පසුපසට ද ගමන් නො කෙරෙයි. එ තන්හි ම කීලස්ථායී ව (සතරපා ටැම්සේ පිහිටුවා ගෙන නිශ්චල ව) සිටියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ සත්වන අශ්වදෝෂ යි.
8. මහණෙනි, තවද මෙ ලොව්හි ඇතැම් අශ්වපෝතකයෙක් රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙර පා හකුළුවා පසු පාත් හකුළුවා එහි ම සතර පා මැඩ ගෙන හිඳියි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් ඛලුඞ්කාශ්වයෙක් වෙයි. මහණෙනි, මේ අටවැනි අශ්වදෝෂ යි. මහණෙනි, මේ අශ්ව ඛලුඞ්කයෝ අට දෙන ද අශ්වදෝෂයෝ අට ද වෙත්.
1. මහණෙනි, පුරුෂ ඛලුඞ්කයෝ අට දෙනත් පුරුසදොස් අටත් කවරහු ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්, ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ නො සිහියෙන්ම නො සමරමැයි නිර්වේධන කරයි (ලිහයි). මහණෙනි, යම් පරිදි ඒ අශ්වඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පසුපසට ඇදේද, පිටින් රිය පෙරළා ද, මහණෙනි, මම් එබඳු උපමා ඇත්තකු කොට මේ පුඟුලා කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු වූත් ඇතැම් ඛලුඞ්කාශ්ව බඳු පුරුසයෙක් වෙයි. මහණෙනි, මෙ පළමු පුරුෂ දෝෂ යි.
2. තවද මහණෙනි, මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ බාල වූ අව්යක්ත වූ තාගේ බිණුමෙන් කවර නම් ප්රයෝජනයෙක් ද? තෝත් බිණිය යුත්තකු කොට හඟනෙහි දැයි චෝදකයාට ම ප්රතිවිරුද්ධ ව සිටියි. මහණෙනි, ඒ ඛලුඞ්කාශ්ව සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ යම්සේ පසු දෙපා ඔසවා පහර දේ ද , (රියෙහි) කිඹුල්මුව බිඳී ද, තෙදඬු බිඳී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ දෙවන පුරුෂ දෝෂ යි.