8. 1. 2. 3.
ආජඤ්ඤ සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රජහුගේ භද්ර වූ අශ්වාජානේයයා අංග අටෙකින් සමන්වාගත වූයේ රාජාර්හ වෙයි. රාජභෝග්ය වෙයි. රාජාඞ්ගයෙකැයි ම සඞ්ඛ්යාවට යෙයි. කවර අටෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්ර වූ ආජානේය අශ්ව තෙමේ මවගෙන් හා පියාගෙන් සුජාත වෙයි. යම් දිගෙක අන්ය භද්රවූ ආජානේය අශ්වයෝ උපදිත් නම් එ දික්හි උපනේ වෙයි. ඔහට අමු වේවයි වියැළි වේවයි යම් ම භෝජනයක් දෙත් නම් එය නො විසුරුවමින් සකසාම බුදියි. මලෙහි හෝ මූයෙහි හෝ හිඳිනට හෝ හෝනට හෝ පිළිකුල් කරන සුලු වෙයි. සුඛසංවාස ඇතියේ සොරත වෙයි. අන් අසුන් නො තැකි ගන්වන්නේ වෙයි. ඔහුගේ යම් ශඨබැව්හු කුළුබැව්හු ඇදබැව්හු වක්බැව්හු වෙත් නම් එ හැම අස්සැරිහට ඇති සැටියෙන් පළ කරන්නේ වෙයි.
ඔහුගේ එ හැම මඩනට අස්සැරි වෑයම් කෙරෙයි. වහන සැහැවි (බර උසුලන බව, දුන් ඔවා පිළිපදින බව) ඇතියේ වෙයි. එකැතින් අන් අස්හු උසුලත්වයි නො උසුලත්වයි මෙහිලා මම් උසුලන්නෙමැයි සිත් දනවයි. යන්නේ ද ඉදු මඟින් ම යන්නේ වෙයි. ස්ථාමවත් වෙයි. ජීවිතයාගේ මරණයෙන් කෙළවර තෙක් ස්ථාමය (ශක්තිය) පවත්වනුයේ ද වෙයි. මහණෙනි, රජුගේ භද්රවූ ආජානේය අශ්වයා මේ අටඟින් යුක්ත වූයේ රාජාර්හ වෙයි. රාජභෝග්ය වෙයි. රජහුගේ අංගයෙකැයි ම සඞ්ඛ්යාවට යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම ගුණදම් අටෙකින් සමන්වාගත වූ මහණ ආහුනාර්හ වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්ර වේ. කවර අටෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව වාස කෙරෙයි. ආචාර ගෝචර සම්පන්න වූයේ අණුමාත්ර වරදෙහිදු බිය දක්නා සුලු වූයේ සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි. ඕහට රළු වේවයි පිණී වේවයි යම් ම බොජුනක් දෙත්නම් (තණ්හාමාන දිට්ඨි විසින්) නො ගැටෙමින් සකසා (අමාවක මෙන් සලකා) වලඳ කෙරෙයි. කාය දුශ්චරිතය වාග් දුශ්චරිතය මනෝ දුශ්චරිතය පිළිකුල් කරන සුලු වෙයි. අනේකවිධ වූ ලාමක වූ අකුශලධර්මයන්ගේ සමාපත්තියට පිළිකුල් කරන සුළු වෙයි. සුඛසංවාස ඇතියේ සුරත ගුණ ඇතියේ වෙයි. අන් මහණුන් නො තැති ගන්වනුයේ වෙයි. ඔහුගේ යම් ශඨ බැව්හු කුළුබැව්හු ඇද බැව්හු වක් බැව්හු වෙත් නම් එ හැම ශාස්තෘන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්රම්සරුන් කෙරෙහි හෝ ඇති සැටියෙන් පළ කරන්නේ වෙයි. ශාස්තෘන් වහන්සේ වේවයි නුවණැති සබ්රම්සරුහු වේවයි ඔහුගේ ඒ හැම මැඩුම් සඳහා වෑයම් කෙරෙයි. හික්මෙනුයේ ම වෙයි. එතැතින් අන් මහණහු හික්මෙත්වා හෝ නොහික්මෙත්වා හෝ යි මම මෙහි ලා හික්මෙන්නෙමැයි සිත උපදවයි. යන්නේ ද ඉදු මඟින් ම යෙයි. එහිලා මේ ඍජු මාර්ගය වේ: එනම්, සම්යක් දෘෂ්ටිය ... සම්යක්සමාධිය යි. ඇරඹූ වැර ඇතියේ වෙයි, නියතින් සිරුරෙහි සම ද නහර ද ඇට ද ශේෂ වේවා, මස් ලෙහෙ වියැළේවා. පුරුෂ ස්ථාමයෙන් (පුරුෂඥානබලයෙන්) පුරුෂවීර්ය්යයෙන්, පුරුෂපරාක්රමයෙන් පැමිණිය යුතු යමෙක් වේ නම් එයට (නිවනට) නොපැමිණ වීර්ය්යයාගේ පසුබැස්මෙක් නො වන්නේ ය කියායි. මහණෙනි, මේ අටදහමින් සමන්වාගත මහණ ආහුනෙය්ය වෙයි ... ලොවට අනුතුරු පින්කෙත් වේයයි.