8. 1. 2. 2.
සීහසේනාපති සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් පුර මහවෙනෙහි කූටාගාර ශාලාවේ වසන සේක. එ සමයෙහි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු සන්‍ථාගාර ශාලාවෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනති, ධර්‍මයාගේ ගුණ වනති, සඞ්ඝයාගේ ගුණ වනත්.
එ සමයෙහි නුවට සවු සිංහ සේනාපති එ පිරිස්හි හුන්නේ වෙයි. එ කල්හි සිංහ සේනාපතිහට තෙල සිත විය: “නිසැකින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එහෙයින් ම මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්. මම ඒ භාග්‍යවතුන් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙම් නම් මනා මැනු”යි.
ඉක්බිති සිංහසේනාපති නුවට නාතපුත් වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාත පුත්තහට මෙය කීය: “වහන්ස, මම මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනු කැමැත්තෙමි”යි.
සීහය, තෝ ක්‍රියවාද ඇත්තෙහි ම කවර හෙයෙකින් අක්‍රියවාද ඇති මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනුයෙහි ද? සීහය, අක්‍රියවාද ඇත්තේ ම මහණ ගොයුම් අක්‍රියාව පිණිස දම් දෙසන්නේ ය. එයින් සව්වන් හික්ම වන්නේ ද වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැක්ම පිණිස සිංහ සේනාපතිහුගේ යම් ගමන සඳහා කරන පියෝ වී නම්, එය සන්හින.
දෙවන වට දු බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්.
දෙවන වටදු සිංහ සේනාපති හට තෙල සිත විය: නිසැකින් ම භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එහෙයින් ම මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්. මම ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙම් නම් මනා මැනු යි.
ඉක්බිති සිංහසේනාපති තෙම නුවට නාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නුවට නාතපුත්තහට තෙල සැල කෙළේය: “වහන්ස, මම මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනු කැමැත්තෙමි”යි.
සීහය, තෝ කිරියවාද ඇතියෙහි ම අකිරියවාද ඇති මහණ ගොයුම් දක්නට කවර හෙයින් එළඹෙන්නෙහි ද? සීහය, මහණ ගොයුම් වනාහි අකිරියවාද ඇත්තේ ම අක්‍රිය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වන් හික්ම වන්නේ ද වෙයි.