7. 2. 2. 9.
[සුනෙත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, පෙර වූවක් කියමි. සුනෙත්ර නම් තීර්ත්ථකර වු කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්ර ශාස්තෘහුගේ නේසියක් සව්වෝ වූහ. සුනෙත්ර නම් ස්ථිර සව්වනට බ්රහ්මලෝක සහභාවය සඳහා දම් දෙසී ය. මහණෙනි, බ්රහ්මලෝක සහභාවය සඳහා ධර්ම දේසනා කරණ සුනෙත්ර ශාස්තෘහට යම් කෙනෙක් සිත් නොපැහැදුනු නම්, උහු කාබුන් මරණින් මතු අපාය වු දුර්ගති වූ විනිපාත වු නිරයට වන්හ. මහණෙනි, යම් කෙනෙක් බ්රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසන සුනෙත් ස්ථිර හට සිත් පැහැදුනු නම්, උහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට වන්හ.
මහණෙනි, පෙර වූවක් කියමි: මුගපක්ෂ නම් තීර්ත්ථකර වූ කාමයන්හි වීතරාග වූ ... ශාස්තෘවරයෙක් විය. ... අරණෙමි නම් ... ශාස්තෘවරයෙක් විය. ... උද්දාල නම් ... සථරෙක් විය ... හත්ථිපාල නම් ... සථරෙක් විය … ජෝතිපාල නම් ... සථරෙක් විය ... අරක නම් තීර්ත්ථකර වූ කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක නම් වූ ශාස්තෘහට අනේකශත ශ්රාවකයෝ වූහ. අරක නම් ශාස්තෘ ශ්රාවකයනට බ්රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසී ය. මහණෙනි, බ්රහ්මලෝක සහවාසය සඳහා ධර්මදේශනා කරණ අරක සථරහු කෙරෙහි යම් කෙනෙක් සිත් නො පැහැදුහු නම්, ඔහු කායභේදයෙන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් පැමිණියහ. මහණෙනි, බ්රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසන අරක සථරහු කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදුහු නම්, ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණියහ.
මහණෙනි, එ කිමකැයි හඟිවු ද? යමෙක් අනේකශත පරිවාර ඇති ශ්රාවකසඞ්ඝයා සහිත, තීර්ත්ථකර වූ කාමයන්හි වීතරාග වූ මෙ සත් ශාස්තෘවරයනට ප්රදුෂ්ටචිත්ත ඇතියේ ආක්රෝශ කෙරේ නම්, පරිභාෂා කෙරේ නම්, හෙ බොහෝ අපුණ්ය රැස් කෙරේ දැයි?
‘වහන්ස, එසේ ය’යි.
මහණෙනි, යමෙක් ප්රදුෂ්ට වු සිත් ඇතියේ, අකෙනශත පරිවාර ඇති තීර්ත්ථකර වු කාමයන්හි වීතරාග වූ ශ්රාවකසඞ්ඝයා සහිත මෙ සත් ශාස්තෘවරුනට ආක්රෝශ කෙරේ ද, පරිභාෂා කෙරේ ද, හෙ බොහෝ අකුසල් රැස් කෙරේ. යමෙක් (එක් මාර්ගසම්යක්) දෘෂ්ටිසම්පන්න පුද්ගලයෙකු ප්රදුෂ්ට චිත්ත ඇතියේ ආක්රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, මෙ තෙම එයට බහුතර පව් රැස් කරන්නේ ය. එ කවර හෙයින් යත්: මෙ බුදුසස්නෙන් බැහැර අපගේ සබ්රම්සරුන් කෙරෙහි මෙන් මෙබඳු ක්ෂාන්තියක් ඇතැයි මම නො කියමි.
මහණෙනි, එබැවින් මෙහි ලා මෙසේ හික්මිය යුතු: අපගේ සබ්රම්සරුන් කෙරෙහි සිත් නහමක් ප්රදුෂ්ට වෙත්වා යි. මහණෙනි, තොප විසින් මෙ සෙයින් ම හික්මිය යුතුයි.
7. 2. 2. 10.
[අරක සූත්රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, පෙර වූවක් කියමි. තීර්ත්ථකර වූ කාමයන්හි වීතරාගී වූ අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘහට අනේකශත ශ්රාවකයෝ වූහ. අරක ශාස්තෘ සව්වනට මෙසෙයින් දම් දෙසයි: බ්රාහ්මණයෙනි, මනුෂ්යයන්ගේ ජීවිතය ස්වල්ප ය, පරිත්ත ය, ඉතා ලඝු ය. බොහෝ දුක් ඇතියේ ය, බොහෝ උපායාස ඇතියේ ය. ප්රඥායෙන් එ දත යුතු ය. කුශලය කටයුතු ය. බ්රහ්මචර්ය්යය සැරිය යුතු ය. උපන්නහුනට අමරණයෙක් නැත.
බ්රාහ්මණයෙනි, තණග පිනිබිඳ යම් සේ හිරුඋදාවත්ම වහා නො පැණීයේ ද, චිරස්ථායී නො වේ ද, බ්රාහ්මණයෙනි, එපරිද්දෙන් ම තණග පිනිබිඳ උපමා කොට ඇති මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ දැඩි ආයාස ඇතියේ වෙයි. ප්රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට අමරණයෙක් නැත.
බ්රාහ්මණයෙනි, දළපොද ඇති වැසි වස්නා කල්හි දියබුබුළු වහා නො පැණි යේ ද, චිරස්ථිතික නො වේ ද, බ්රාහ්මණයෙනි, එපරිද්දෙන් ම දියබුබුළක් බඳු මනුෂ්යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ ආයාස ඇති වෙයි. ප්රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට නො මැරීමෙක් නැත.
බ්රාහ්මණයෙනි, දියෙහි දඬින් ඇඳි ඉර යම්සේ වහා නො පැණී යේ ද, චිරස්ථික නො වේ ද, බ්රාහ්මණයෙනි, එසෙයින් ම දියෙහි දණ්ඩරාජිය බඳු මනුෂ්යයන්ගේ ජීවිතය ... උපන්නාහට නො මැරීමෙක් නැත.
බ්රාහ්මණයෙනි, පර්වතයෙහි හටගත් දුරඞ්ගම වූ ශීඝ්ර ස්රෝතස් ඇති හසු වු හැම දැ ගසාගෙණ යන නදිය යම්සේ ද, යම් හෙයකින් ඕ නවතී නම් එබඳු ක්ෂණයෙක් හෝ ලයෙක් හෝ මුහුර්තයෙක් හෝ නැත. වැලිත් ඕ ගමන් කරන්නී ම වෙයි, පවත්නී ම වෙයි, ගලාබස්නී ම වෙයි. බ්රාහ්මණයෙනි, එපරිද්දෙන් ම පාර්වතීය නදියක් බඳු මනුෂ්යයන්ගේ ජීවිතය ජාතයාහට නො මරීමෙක් නැත.