7. සත්තකනිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
1. ධන වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
7. 1. 1. 1.
[පළමුවන පියභික්ඛු සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය අමනාප අගරු අභාවනීය වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේ ද, සත්කාර කැමතියේ ද, යශස් කැමතියේ ද, හිරි නැතියේ ද, ඔතප් නැතියේ ද, ලමු ඉච්ඡා ඇතියේ ද, මිසදිටු ඇතියේ ද වෙයි.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය අමනාප අගරු අභාවනීය වෙයි.
මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය මනාප ගරු භාවනීය වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේත් නො වෙයි, සත්කාර කැමතියේත් නො වෙයි, යශස් කැමතියේත් නො වෙයි, හිරි ඇතියේත් වෙයි, ඔතප් ඇතියේත් වෙයි, අල්පෙච්ඡ ද වෙයි, සම්දිටු ඇතියේත් වෙයි.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ.
7. 1. 1. 2.
[දෙවැනි පියභික්ඛු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, සත් කරුණෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය හා අමනාප හා අගරු හා අභාවනීය හා වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේ ද, සත්කාර කැමතියේ ද, ප්‍රසිද්ධිය කැමතියේ ද, හිරි නැතියේ ද, ඔතප් නැතියේ ද, ඊර්‍ෂ්‍යා ඇතියේ ද, මසුරු වූයේ ද වෙයි.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය හා අමනාප හා අගරු හා අභාවනීය හා වෙයි.
මහණෙනි, දහම් සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමැත්තේ නො වෙයි, සත්කාර කැමැත්තේ ද නො වෙයි, යශස් කැමැත්තේ ද නො වෙයි, හිරි ඇත්තේ ද, ඔතප් ඇත්තේ ද, ඊර්‍ෂ්‍යා නැත්තේ ද, මසුරු නො වූයේ ද වෙයි.
මහණෙනි, මෙ දහම් සතින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
7. 1. 1. 3.
[සඞ්ඛිත්තසත්තබල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, මෙ බලසතෙකි. කවර සතෙක යත්:
සද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මෙ සත් බල යි.
1. සද්ධාබල විරියබල හිරිබල ඔතප්බල සතිබල සමාධිබල හා සත් වැනි වූ ම පඤ්ඤාබලය යි බල සතෙකි. මෙ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ වෙසේ.
2. හේ උපායමනස්කාරයෙන් සිවුසස් දහම් විමසන්නේ ය. විවසුන් සහගිය මග නැණින් එහි අරුත් දක්නේ ය. පහන නිවුනු සෙයින් (චරිමක) චිත්තයාගේ විමෝක්‍ෂය (වස්තු ආලම්බනයන්ගෙන් මිදීම) වන්නේ යි.