7. 2. 2. 10.
[අරක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, පෙර වූවක් කියමි. තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාගී වූ අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ සව්වනට මෙසෙයින් දම් දෙසයි: බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය ස්වල්ප ය, පරිත්ත ය, ඉතා ලඝු ය. බොහෝ දුක් ඇතියේ ය, බොහෝ උපායාස ඇතියේ ය. ප්‍රඥායෙන් එ දත යුතු ය. කුශලය කටයුතු ය. බ්‍රහ්මචර්‍ය්‍යය සැරිය යුතු ය. උපන්නහුනට අමරණයෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, තණග පිනිබිඳ යම් සේ හිරුඋදාවත්ම වහා නො පැණීයේ ද, චිරස්ථායී නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම තණග පිනිබිඳ උපමා කොට ඇති මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ දැඩි ආයාස ඇතියේ වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට අමරණයෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, දළපොද ඇති වැසි වස්නා කල්හි දියබුබුළු වහා නො පැණි යේ ද, චිරස්ථිතික නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම දියබුබුළක් බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ ආයාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට නො මැරීමෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, දියෙහි දඬින් ඇඳි ඉර යම්සේ වහා නො පැණී යේ ද, චිරස්ථික නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම දියෙහි දණ්ඩරාජිය බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය ... උපන්නාහට නො මැරීමෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, පර්‍වතයෙහි හටගත් දුරඞ්ගම වූ ශීඝ්‍ර ස්‍රෝතස් ඇති හසු වු හැම දැ ගසාගෙණ යන නදිය යම්සේ ද, යම් හෙයකින් ඕ නවතී නම් එබඳු ක්‍ෂණයෙක් හෝ ලයෙක් හෝ මුහුර්‍තයෙක් හෝ නැත. වැලිත් ඕ ගමන් කරන්නී ම වෙයි, පවත්නී ම වෙයි, ගලාබස්නී ම වෙයි. බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම පාර්‍වතීය නදියක් බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය ජාතයාහට නො මරීමෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දිවග කෙළපිඩක් රැස් කොට නිදුකින් ම වමාරා නම්, බ්‍රාහ්මණයෙනි, එලෙසින් ම කෙළපිඩක් බඳු මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි ... ජාතයකුහට අමරණයෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, යම්සේ දවසක් තැවුනු යකබලෙක්හි මස් පිඩක් බහන ලදුයේ වහා නො පැණීයේ නම්, චිරස්ථිතික නො වේ නම්, බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම මනුෂ්‍යයන්ගේ ජීවිතය මාංසපේශියක් උපමා කොට ඇත ... ජාතයකුහට අමරණයෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, යම් සේ වධයට නියත වූ දෙනක් වධස්ථලය කරා ගෙණ යනු ලබන්නී යම් ම පාදයක් ඔසවා නම්, වධයටම සමීප වෙයි. මරණයට ළංවූවා ම වෙයි. බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම වධයට නියත දෙනක උපමා කොට ඇති මනුෂ්‍යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ උපායාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු වෙයි. කුශලය කටයුතු ය, බඹසර සැරිය යුතු. ජාතයාහට අමරණයෙක් නැත.
මහණෙනි, එ සමයෙහි මිනිසුනට හවුරුදු සැටදහසක් ආයු ප්‍රමාණ විය. පන්සිය හවුරුදු වියපත් කුමරිය පතිකුල යෑමට නිසි වූ ය. මහණෙනි, එසමයෙහි මිනිසුනට ආබාධයෝ සයක් පමණක් ම ඇති වූහ: ශීතය, උෂ්ණ ය, සා ය, පවස ය, මලාපහරණ ය, ප්‍රස්‍රාවාපහරණ යයි. මහණෙනි, එබඳු වූ ම අරක ශාස්තෘ මෙසේ දීර්‍ඝායුෂ්ක වු මෙසේ චිරස්ථිතික වූ මෙසේ අල්පාබාධා වූ මනුෂ්‍යයන් අතුරෙහි සව්වනට මෙසේ දම් දෙසී ය.
“බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතා අල්ප වෙයි. ස්වල්ප වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇතියේ වෙයි. බොහෝ උපායාසය ඇතියේය. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය, බඹසර සැරිය යුතු ය, ජාතයාහට අමරණයෙක් නැතැයි.”
මහණෙනි, මේ කල්හි මනා කොට කියනුයේ “මනුෂ්‍යයන්ගේ ජීවිතය අල්ප වෙයි. ස්වල්ප වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ උපායාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය, බඹසර සැරියයුතු ය. ජාතයාහට අමරණයෙක් නැත.” මහණෙනි, මෙකල්හි යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම්, හෙ වර්‍ෂ ශතයක් හෝ ඉන් අල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි.
මහණෙනි, සියක් වස් දිවි වටනුයේ හේමන්ත ඍතු සියක් හා ග්‍රීෂ්ම ඍතු සියක් හා වර්‍ෂා ඍතු සියක් හා ඍතු තුන් සියයක් ම දිවි වටනේ ය. මහණෙනි, ඍතු තුන්සියක් දිවි වටනුයේ හේමන්ත මාස සාරසියයක් හා ග්‍රීෂ්ම මාස සාරසියයක් හා වර්‍ෂා මාස සාරසියක් හා දොළොස් සියමසක් ම දිවි වටනේ ය. මහණෙනි, දොළොස් සියමස් දිවි වටනුයේ අටසියක් හිමත් අඩමස් හා, අටසියක් ගිමන් අඩමස් හා අටසියක් වැසි අඩමස් හා සූවිසි සියක් අඩමස් වසනේ ය.