7. 2. 2. 8.
[අග්ගික්ඛන්‍ධොපම සූත්‍රය]
19. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහබික්සඟුන් කැටිව ලා ගෙණ කොසොල්දනව්යෙහි සැරිසරණ සේක. අද්ධාන මාර්‍ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ප්‍රදේශයෙක්හි ඇවිළගත් මොනොවට දිලියෙන් ගිනිසිළු සහිත වූ මහාග්නිස්කන්‍ධයක් දුටු සේක. දැක වදාරා මාර්‍ගයෙන් ඉවත් ව අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි පනවන ලද අස්නෙක වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළ සේක: “මහණෙනි, තෙපි ඇවිළගත් මැනැවින් දිලියෙන් ගිනිසිළු ඇති අසෝ මහගිනිකඳ දකිවු දැ?”යි වහන්ස, එසේයයි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? තෙල අදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතීර්භූත වූ මහා වහ්නිස්කන්‍ධය වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ හෝ යන යමකුත් වේ නම්, මොළොක් තුරුණු අත්පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳුනේ හෝ හෝනේ හෝ යන යමෙක් වේ නම්, (එයින්) කවරක් උතුම් දැ?යි. වහන්ස, මොළොක් තුරුණු අත් පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ ය යන යමෙක් වේ නම්, මෙය ම උතුම් වේ. වහන්ස, තෙල ඇවිළගත් දිලියෙන, ගිනිසිළු ඇති යම් මහගිනිකඳක් සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය යන තෙල දුකෙක් මැයි.
මහණෙනි, තොපට අරෝචනය කරමි, මහණෙනි, තොපට කරුණු හඟවා කියමි: යම් සෙයෙකින් ලමුදම් ඇති, අපවිත්‍ර කායකර්‍මාදියෙන් අපරිශුද්ධව සැකයෙන් සිහිකටයුතු සමාචාර ඇති, පිළිසන් කටයුතු කර්‍ම ඇති, ශ්‍රමණ නො වූ ‘මහණෙක්මි’ යන් ප්‍රතිඥා ඇති අබ්‍රහ්මචාරී වු බ්‍රහ්මචාරීයෙක්මියි කරණ ප්‍රතිඥා ඇති, පූතිකර්‍මයෙන් (ශීලවිපත්තියෙන්) අන්තඃපූති වූ (සදොරින් වෑහෙන රාගාදි) කෙලෙසින් තෙත් වු හටගත් රාගාදිකෙලෙස් කසළැති, එ දුඃශීලයාහට, තෙල ඇවිළගත්, දිලියෙන, ගිනිසිළු ඇති මහගිනිකඳ සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය හෝ යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වන්නේ ය. එ කවර හෙයින යත්: මහණෙනි, එකරුණෙන් එ දුසිල් මහණ මරණයට හෝ යන්නේ ය. මරණමාත්‍ර වූ දුකට හෝ යන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණේමැයි. මහණෙනි, ලමුදම් ඇති අපරිශුද්ධ කායකර්‍මාදියෙන් අපවිත්‍ර ව සංකායෙන් සිහි කටයුතු හැසිරීම් ඇති ... හටගත් කෙලෙස්කසට ඇති එ දුසිල් තෙම මොළොක් තරුණ අත්පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙන හිඳිනේ ය හෝ හෝනේ ය හෝ යන යමෙක් වේ නම්, මහණෙනි, එය ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වු නිරයට පැමිණෙන්නේ ය.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් දැඩිවරපටෙකින් දෙ දඟඇට වෙළා ඝටනේ ය. එ වරපට සිවිය සිඳුනේ ය. සිවිය සිඳ සම් සිඳුනේ ය. සම් සිඳ මස් සිඳුනේ ය. මස් සිඳ නහර සිඳුනේ ය. නහර සිඳ ඇට සිඳුනේ ය. ඇට සිඳ ඇටමිදුලෙහි වැද සිටුනේ ය යන යමකුත් වේ නම් හෝ, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේ වයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේ වයි, ගෘහපතිමහසාරයන්ගේ වේවයි අභිවාදනය ඉවසන්නේ ය යන යමකුත් වේ නම්, (එදෙකින්) කවරෙක්) උතුම් වේ දැ? යි. වහන්ස, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහසාරයන්ගේ වේවයි අභිවාදනයක් ඉවසා නම්, මෙය ම උතුම් වෙයි. වහන්ස, බලවත් පුරුෂයෙක් දළ වරපටෙකින් දෙ දඟ වෙළා ... ඇටමිදුළු තෙක් වැද සිටුනේ ය යන යමකුත් වේ නම්, තෙල දුකෙක්මය යි.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට ප්‍රතිවේදනය කරමි. යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් දළ වරපටෙකින් දෙදඟ වෙළා ... ඇට මිදුලු තෙක් වැද සිටුනේ ය. යන යමෙක් වේ නම්, දුශ්ශීල වූ ... කෙලෙස්කසළ ඇති ඔහට මෙය ම උතුම් ම වේ. එ කවර හෙයින යත්: මහණෙනි, එ හේතුකොට ගෙන එතෙම මරණයට හෝ යන්නේ ය. මරණමාත්‍ර දුඃඛයට හෝ පැමිණෙන්නේ ය. එ හේතු කොට ගෙණ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, දුශ්ශීල වූ ... හටගත් කෙලෙස්කසළ ඇති එ මහණ ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, අභිවාදනය ඉවසන්නේය යන යමක් වේ නම්, එය ම ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.