7. 2. 2. 7.
[භාවනානුයුත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, භාවනායෙහි යුක්තප්රයුක්ත නො වී වාසය කරණ මහණහට, “අහෝ මාගේ සිත (ඒකාන්තයෙන් කිසි සංස්කාරයක්) උපාදාන විසින් නො ගෙන ආස්රවයන්ගෙන් මිදේව”යි යන මෙබඳු ඉච්ඡායෙක් උපදනේ නමුදු, වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්රවයන්ගෙන් නො මැ මිදෙන්නේ ය. එ කවර හෙයින යත්: ‘අභාවිත වන හෙයිනැ’යි කියයුතු වන්නේ ය. කවරක්හුගේ අභාවිතභාවයෙන යත්: සතරසතිපට්ඨාන, සතරසම්යක්ප්රධන්වීර්ය්යය, සතරඉද්ධිපාදය, පඤ්චේන්ද්රියය, පඤ්චබල, සප්තබෝධ්යඞ්ගය, ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය යන ධර්ම අභාවිත වන හෙයිනි.
මහණෙනි, යම් පරිදි කිකිළියකහට බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළොසක් වේ නම්, එ හැම කිකිළිය විසින් මොනොවට අධිශයිත නො වෙත්. මොනොවට හුණුසුම් ගන්වන ලද නො වෙත්. මොනොවට පරිභාවිත නො වෙත්. එ කිකිළියට “අහෝ, මාගේ කැකුළුපැටව් පානියසිළීන් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙත්වා” යන මෙබඳු ඉච්ඡාවත් උපදනේ ය. වැලිත් එ කුකුළුපැටව් පානියසිළීන් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙන්නට අභව්ය ම වෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් කිකිළිය විසින් බිජුවටහු මොනොවට අධිශයිත නොවෙත් ද, හුණුසුම් ගන්වන ලද නො වෙත් ද, මොනොවට පරිභාවිත නො වෙත් ද, එසෙයිනි.
මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්රයුක්ත නො වී වෙසෙන මහණහට “අහෝ, ඒකාන්තයෙන් මාගේ චිත්තය උපාදානයන් විසින් නො ගෙණ ආස්රවයන්ගෙන් මිදේ වා” යන මෙබඳු ඉච්ඡාවක් උපදනේ නමුදු වැලිත් අනුපාදාන විසින් ඔහුගේ චිත්තය ආස්රවයන්ගෙන් නොමිදේ මැයි. එ කවර හෙයින යත්: අභාවිතභාවයෙනැයි කිවයුතු වන්නේ ය. කවරක් නොවැඩූ බැවින යත්: සතරසතිපට්ඨාන ... ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය අභාවිත හෙයිනි.
මහණෙනි, භාවනායෙහි යුක්තප්රයුක්තව වාසය කරණ මහණහට “අහෝ ඒකාන්තයෙන් අනුපාදාන විසින් මාගේ චිත්තය ආස්රවයන්ගෙන් මිදේවා” යන මෙබඳු ඉච්ඡාවක් නූපදනේ නමුදු වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්රවයන්ගෙන් මිදෙන්නේ ය. එ කවර හෙයින යත්: භාවිතභාවයෙනැයි කිවයුතු වන්නේ ය. කවරක්හුගේ භාවිත භාවයෙන යත්: සතරසතිපට්ඨානයන්ගේ හා ... ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයාගේ (භාවිතභාවයෙනි).
මහණෙනි, යම් පරිදි කිකිළියට බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් වේ නම්, එ හැම කිකිළිය විසින් මනාකොට අධිශයිත වෙත්. මැනැවින් පරිසෙදිත වෙත්. මනාලෙස පරිභාවිත වෙත්. එ කිකිළියට “අහෝ, ඒකාන්තයෙන් මාගේ කුකුළුපැටහු පානියසිළීන් වේවයි, මුවතුඩින් වේවයි අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙත්වා”යි මෙබඳු ඉච්ඡාවත් නූපදනේ නමුදු වැලිත් එ කුකුළුපැටහු පානියසිළීන් වේවයි, මුවතුඩින් වේවයි, අණ්ඩකෝෂය බිඳ සුවසේ නික්මෙන්නට භව්ය ම වෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, යම් සෙයෙකින් කිකිළිය විසින් බිජුවටහු මනාලෙස අධිශයිත වෙත් නම්, මැනැවින් පරිසෙදිත වෙත් නම්, මැනැවින් පරිභාවිත වෙත් නම්, එහෙයිනි.
මහණෙනි, එ පරිද්දෙන් ම භාවනායෙහි අනුයුක්ත ව වසන මහණහට “අහෝ මාගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්රවයන්ගෙන් මිදේ වා” යන මෙබඳු ඉච්ඡාවක් නූපදනේ නමුදු වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්රවයන්ගෙන් මිදෙන්නේ ය. එ කවර හෙයින් යත්: භාවිතභාවයෙනැයි කිවයුතු වෙයි. කවරක්හුගේ භාවිතභාවයෙන යත්: සතර සතිපට්ඨානයන්ගේ ද ... ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයාගේ ද භාවනායෙනි.
මහණෙනි, දැවවඩුවකුගේ හෝ දැවවඩුඅතවැසියකුගේ හෝ වෑ මිටෙහි යම් පරිදි අඞ්ගුලිපදයෝ පැණෙත් ම නම්, අඞ්ගුෂ්ටපදය පැණේ ම නම්, ඔහට “අද මාගේ වෑමිටෙහි මෙතෙක් අංශුයෙක් ක්ෂීණ විය, ඊයේ දවස්හි මෙතෙක් අංශුයෙක් ක්ෂීණ විය, පෙරෙයිදා මෙතෙක් අංශුයෙක් ක්ෂීණ විය” යන මෙබඳු ඥානයෙක් නො වේ ම ය. වැලිත් ඔහට ක්ෂීණ වූ අංශුයෙහි ක්ෂීණ ම විය’ යන ඥානය වෙයි. මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්රයුක්ත ව වසන මහණහට “අද මාගේ ආස්රවයන්ගෙන් මෙතෙක් අංශයෙක් ක්ෂීණ විය. ඊයේ මෙතෙක් අංශයෙක් ක්ෂීණ විය. පෙරෙයිදා මෙතෙක් අංශයෙක් ක්ෂීණ විය” යන මෙබඳු ඥානයෙක් නැති නමුදු, වැලිත් ඔහට ක්ෂීණ වූ ආස්රව ක්ෂීණ ම ය” යන ඥානය වේ.
මහණෙනි, වෙත්රබන්ධනයෙන් බඳනා ලදුව සමසක් දියෙහි පැවැති හිමත් කල්හි ඉවුරුතෙලෙහි ඔසොවාන ලද සාමුද්රික නැවෙක බන්ධනයෝ වාතයෙන් හා හිරුඑලියෙන් මඩනා ලද්දාහු යම් පරිදි ප්රාවෘට්මේඝයෙන් මොනොවට තෙමන ලද්දාහු පහසුවෙන් ම පිරිහීමට යෙත් නම්, සුණු වී යෙත් නම්, මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්රයුක්ත ව වසන මහණහට නිදුකින් ම සංයෝජනයෝ පිරිහෙත් පූතික වෙත් යයි.
7. 2. 2. 8.
[අග්ගික්ඛන්ධොපම සූත්රය]
19. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මහබික්සඟුන් කැටිව ලා ගෙණ කොසොල්දනව්යෙහි සැරිසරණ සේක. අද්ධාන මාර්ගයට පිළිපන් භාග්යවතුන් වහන්සේ අන්යතර ප්රදේශයෙක්හි ඇවිළගත් මොනොවට දිලියෙන් ගිනිසිළු සහිත වූ මහාග්නිස්කන්ධයක් දුටු සේක. දැක වදාරා මාර්ගයෙන් ඉවත් ව අන්යතර වෘක්ෂමූලයෙක්හි පනවන ලද අස්නෙක වැඩහුන් සේක. වැඩ හිඳ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළ සේක: “මහණෙනි, තෙපි ඇවිළගත් මැනැවින් දිලියෙන් ගිනිසිළු ඇති අසෝ මහගිනිකඳ දකිවු දැ?”යි වහන්ස, එසේයයි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? තෙල අදීප්ත වූ සම්ප්රජ්වලිත වූ සජ්යොතීර්භූත වූ මහා වහ්නිස්කන්ධය වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ හෝ යන යමකුත් වේ නම්, මොළොක් තුරුණු අත්පා ඇති ක්ෂත්රියකන්යාවක හෝ බ්රාහ්මණකන්යාවක හෝ ගෘහපතිකන්යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳුනේ හෝ හෝනේ හෝ යන යමෙක් වේ නම්, (එයින්) කවරක් උතුම් දැ?යි. වහන්ස, මොළොක් තුරුණු අත් පා ඇති ක්ෂත්රියකන්යාවක හෝ බ්රාහ්මණකන්යාවක හෝ ගෘහපතිකන්යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ ය යන යමෙක් වේ නම්, මෙය ම උතුම් වේ. වහන්ස, තෙල ඇවිළගත් දිලියෙන, ගිනිසිළු ඇති යම් මහගිනිකඳක් සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය යන තෙල දුකෙක් මැයි.