7. 2. 2. 5.
[පාරිච්ඡත්තක සූත්රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පරසතුරුක පඬුවන් පත් ඇති වේ ද, මහණෙනි, තාවතිංස දෙවියෝ එකල්හි “දැන් කෝවිදාර පරසතුරුක පඬුවන් පත්ර ඇතියේ ය. තව නොබෝ කලෙකින් ම ගිලිහුනු පත් ඇතිවන්නේ ය”යි සතුටු සිත් ඇති වන්නාහ.
මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පරසතුරුක පතිතපත්ර ඇතියේ වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “දැන් කෝවිදාර පාරිච්ඡත්රකවෘක්ෂය ගිලිහුනු පත් ඇතියේ ය. නොබෝ කලෙකින් ම හටගත් කොළමල් දැල් ඇති වන්නේය”යි සතුටු සිතැති වෙත්.
මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්රවෘක්ෂය හටගත් පලුමල්කැන් ඇති වේ නම්, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “දැන් කෝවිදාර පරසතුරුක හටගත් පලුමල්කැන් ඇතියේ නොබෝ කලෙකින් ම වෙන් වෙන් ව බෙදුනු පලුමල්කැන් ඇති වන්නේ ය”යි තුටු සිත් ඇති වෙත්.
මහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කොවිළාර නම් පරසතුරුක වෙන් වෙන් ව බෙදුනු පලු මල් කැන් ඇති වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ සතුටුසිත් ඇති වෙත්: “දැන් කොවිළාර නම් පරසතුරුක ක්ෂාරකජාත (බෙදීගිය පලුමල් කැන් ඇති) විය, නොබෝ කලෙකින් ම හටගත් කුඩ්මල ඇති වේ යයි.
මහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්රක වෘක්ෂය හටගත් කුඩ්මල ඇතියේ වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “කෝවිදාර පරසතුරුක දැන් හටගත් කුඩ්මල ඇතියේ නොබෝ දවසෙකින් ම මිණිබුන් මලින් යුතුවේ ය”යි සතුටු වන්නාහ.
මහණෙනි, යම් කලෙක තවුතිසාවැසි දෙවියන්ගේ කෝවිදාර පරසතුරුක මිණිමුතුවන මල් ඇතිවන්නේ ද, මහණෙනි, තවුතිසාවැසි දෙවියෝ එකල්හි “දැන් කෝවිදාර පරසතුරුක මිණිමුතුවන මල් ඇතියේ ය, නොබෝ දවසෙකින් ම හැම සේ මොනොවට පිපියේ වන්නේ ය”යි තුටු වෙත්.
මහණෙනි, යම් කලෙක තාවතිංස දෙවියන්ගේ කෝවිදාර පරසතුරුක සර්වප්රකාරයෙන් පාලිඵුල්ල වේ ද, මහණෙනි, (එසමයෙහි) තාවතිංස දෙවියෝ කෝවිදාර පරසතුරුක්හුගේ මුල දිව්යවර්ෂගණනායෙන් සාරමසක් (මනුෂ්ය වර්ෂ ගණනායෙන් දොළොස් දහසක් අවුරුදු) පස්කම් ගුණෙන් සමන්වාගත වූවාහු සමර්පිත වූවාහු අභිරමණය කෙරෙත්. ක්රීඩා කරත්. මහණෙනි, සර්වප්රකාරයෙන් පාලිඵුල්ල වූ කෝවිදාර පරසතුරුක්හු වටා පණස් යොදුනක් ආලෝකයෙන් පැතිරගියේ වෙයි. ගන්ධය යොදුන් සියක් අනුවාතයෙහි හමයි. කෝවිදාර පරිච්ඡත්රකයාගේ මෙ අනුභාව වෙයි.
(1) මහණෙනි, එපරිද්දෙන් ම යම් කලෙක්හි අරීසවු ගෙන් නික් ම පැවිද්ද සඳහා සිතා ද, මහණෙනි, එසමයෙහි අරීසවු තව්තිසා වැසි දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්රකය සෙයින් පණ්ඩුපලාස වෙයි.
(2) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු කෙහෙරවුළු බහා කසාවත් හැඳ ගෙන නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තව්තිසා වැසි දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්රකය සෙයින් ගුළුපත් (වැටුන කොළ) ඇතියේ වෙයි.
(3) මහණෙනි, යම් සමයෙක්හි ආර්ය්යශ්රාවක කාමයන්ගේ වෙන් ව ම ... ප්රථමධ්යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි ආර්ය්යශ්රාවක තාවතිංස දේවයන්ගේ කෝවිදාර පාරිච්ඡත්රක රුක සෙයින් ජාලක ජාත වෙයි.
(4) මහණෙනි, යම් කලෙක්හි ආර්ය්යශ්රාවක විතර්ක විචාරයන්ගේ ව්යුපශමයෙන් ... ද්විතීයධ්යානයට එළඹ වෙසේ නම්, මහණෙනි, එසමයෙහි ආර්ය්යශ්රාවක තාවතිංස දේවයන්ගේ කෝවිදාර පරසතුරුක සෙයින් ඛාරකජාත වෙයි.