7. 2. 2. 4.
[ධම්මඤ්ඤූ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්‍මඥ ද වෙයි. අර්‍ත්‍ථඥ ද වෙයි. ආත්මඥ ද වෙයි. මාත්‍රඥ ද වෙයි. කාලඥ ද වෙයි. පර්‍ෂද්ඥ ද වෙයි. පුද්ගලපරාවරඥ ද වෙයි.
(1) මහණෙනි, මහණ කෙසේ ධර්‍මඥ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය ය, වෛය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ සූත්‍ර ය, ගෙය ය, වෛය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය නොදන්නේ නම්, මෙ සස්නෙහි ධර්‍මඥයෙකැයි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ මෙ සූත්‍රය, ගෙය ය, ... අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය දන්නේ ද, මහණෙනි, එහෙයින් මහණ ධර්‍මඥ යයි කියනු ලැබේ. මෙසෙයින් ධර්‍මඥ වෙයි.
(2) අර්‍ත්‍ථඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ ය, මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය’යි භාෂිතයාගේ අර්‍ත්‍ථය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ, මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ ය, මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය’යි එ එ භාෂිතයාගේ අර්‍ත්‍ථය නොදන්නේ නම්, මෙ සස්නෙහි අර්‍ත්‍ථඥයෙකැ’යි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ එ එ භාෂිතයාගේ ම අර්‍ත්‍ථය මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය යි දන්නේ නම් එහෙයින් ම අර්‍ත්‍ථඥ යයි කියනු ලබනේ ය. මෙසෙයින් ධර්‍මඥ ද අර්‍ත්‍ථඥ ද වෙයි.
(3) ආත්මඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙ පමණයෙමි”යි තමා දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙතෙක් වෙමි”යි තමා නොදන්නේ නම් මෙ සස්නෙහි ආත්මඥයයි යයි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙතෙක් වෙමි”යි තමා හඳුනන්නේ ද, එහෙයින් ම ‘ආත්මඥය’ යි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ, අර්‍ත්‍ථඥ, ආත්මඥ වෙයි.
(4) මාත්‍රඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු, පිඬුවා, සෙනසුන්, ගිලන්පස, බෙහෙසද්පිරිකර පිළිගැණුමට මාත්‍රය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍යභෛෂජ්‍යපරිෂ්කාරයන් පිළිගැණුමට පමණ නො දන්නේ ද, මෙ සස්නෙහි ‘මාත්‍රඥ’ය යි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍යභෛෂජ්‍යපරිෂ්කාරයන් ප්‍රතිග්‍රහණයට මාත්‍රය දන්නේ ද, එහෙයින් ‘මාත්‍රඥ’යයි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ වෙයි.
(5) කාලඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ “මෙ උද්දේශයට කලි, මෙ පරිපාච්ඡාවට කලි, මෙ යෝගයට කලි, මෙ පිළිසලනට කලැ”යි කල් දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ, “මේ උදෙසුමට කලි, මෙ පිළිවිසුමට කලි, මෙ යොගයට කලි, මෙ පිලිසලනට කලැ”යි කල් නො දන්නේ නම්, මෙ සස්නෙහි කාලඥ යයි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ ‘මෙ උද්දේශයට කලි, මෙ පුළුවුස්නට කලි, මෙ යොගයට කලි, මෙ පිලිසලනට කලැ’යි දන්නේ ද, එහෙයින් කාලඥයයි කියනු ලැබේ. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ කාලඥ වෙයි.
(6) පර්‍ෂද්ඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ, ‘මෙ ක්‍ෂත්‍රියපර්‍ෂද් ය, මෙ බ්‍රාහ්මණපර්‍ෂද් ය, මෙ ගෘහපතිපර්‍ෂද් ය, මෙ ශ්‍රමණපර්‍ෂද් ය, එහි මෙසෙයින් එළැඹි යුතු, මෙ සෙයින් සිටිය මනා ය, මෙ සෙයින් කළමනා ය, මෙ සෙයින් හින්දෑ මනා ය, මෙ සෙයින් බිණුවමනා ය, මෙ සෙයින් තුෂ්ණීම්භූත වුවමනා යයි පිරිස් දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ මෙ කැත් පිරිස, මෙ බමුණු පිරිස, මෙ ගැහැවි පිරිස, මෙ මහණ පිරිසැ. එහි මෙසෙයින් එළැඹිය මනා ය, මෙසෙයින් සිටිය මනා ය, මෙ සෙයින් කළමනා ය, මෙ සෙයින් හින්දෑ මනා ය, මෙ සෙයින් බිණුවමනා ය, මෙ සෙයින් නිහඬ වුවමනායයි පිරිස් නො දන්නේ නම්, මේ සස්නෙහි (මහණ) පර්‍ෂද්ඥ යි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ ‘මෙ කැත් පිරිස් ය, මේ බමුණු පිරිස් ය, මේ ගැහැවි පිරිස් ය, මේ මහණ පිරිස් ය. එහි මේ සෙයින් එළැඹිය මනා ය, මෙසෙයින් සිටිය මනා ය, මෙසෙයින් කළමනා ය, මෙසෙයින් හින්දෑ මනා ය, මෙසෙයින් බිණුවමනාය, මෙසෙයින් නිහඬ වුවමනා යයි පිරිස් දන්නේ ද, එහෙයින් පර්‍ෂද්ඥ යි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ කාලඥ පර්‍ෂද්ඥ වෙයි.
(7) පුද්ගලපරාවරඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු විසින් දෙ පරිදියෙකින් පුඟුල්හු විදිත වෙත්. පුඟුල්හි දෙ දෙනෙකි. එකෙක් ආර්‍ය්‍යයන් දක්නට කැමැතියේ ය. එකෙක් ආර්‍ය්‍යයන් දක්නට නො කැමතියේ ය. යම් මේ පුඟුලෙක් ආර්‍ය්‍යයන් දක්නට නො කැමැත්තේ නම්, මෙසේ හේ ඒ කරුණින් ගැරැහිය යුතුවේ. යම් මේ පුඟුලෙක් ආර්‍ය්‍යයන් දක්නට කැමැත්තේ නම්, මෙසෙයින් හෙ එකරුණින් පැසැසියයුතු වන්නේ ය.
පුද්ගලයෝ දෙදෙනෙක් ආර්‍ය්‍යයන් දක්නා කැමැත්තාහ: එකෙක් සදහම් අසනට කැමතියේ වෙයි. එකෙක් සදහම් අසනු නො කැමතියේ වෙයි. යම් මේ පුඟුලෙක් සද්ධර්‍මය නො අසනු කැමතියේ නම් මෙසේ හේ එ කරුණින් ගැරැහියයුතු වන්නේ ය. යම් මේ පුඟුලෙක් සද්ධර්‍මය අසනු කැමැතියේ නම්, මෙසේ හේ එ කරුණින් පැසැසිය යුතු වන්නේ ය.
සදහම් අසනු කැමැති මේ පුඟුල්හු දෙදෙනෙක්: එකෙක් යොමුකළ කන් ඇතියේ ධර්‍මය අසයි. එකෙක් යොමු නො කළ කන් ඇතියේ දහම් අසයි. යම් මේ පුඟුලෙක් යොමු නො කළ ශ්‍රෝත්‍ර ඇතියේ ධර්‍මය අසා නම්, මෙසේ හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් යොමු කළ කන් ඇතියේ ධර්‍මය අසා නම් මෙසේ හෙ එ කරුණින් පැසැසිය යුතු වෙයි.