7. 2. 2. 3.
[නගරූපම සූත්රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, යම් කලෙක රජුගේ පසල් නුවර සප්ත නගරාඞ්කාරයෙන් මොනොවට පිරිකෙවු කරණලද්දේ වේ ද, සතර අහර ද කැමැති සේ ලබනුයේත් නිදුකින් ලබනුයේත් විපුල කොට ලබනුයේත් වේ ද, මහණෙනි, රජහුගේ මෙ ප්රත්යයන්ත නගරය බැහැරි පසමිතුරු වූ සතුරන් විසින් සාධාගත (දිනාගත) නො හැකැයි කියනු ලැබේ.
කවර සප්ත නගරාලඞ්කාරයෙකින් මනාකොට පරික්ෂිප්ත වේය යත්:
(1) මහණෙනි, මෙහි රජුගේ පසල්රට නුවරෙහි ගැඹුරු වළ ඇති මොනොවට කැණ සිටුවනලද, නො සැලෙන නො වෙවුලන ඒෂිකාස්තම්භය වෙයි. මෙ පළමු නගර පරික්ෂාරයෙන් රජහුගේ ප්රත්යන්ත නගරය අභ්යන්තරවාසීන්ගේ ගෝපනය සඳහා බාහිර ශත්රෑන්ගේ නිවාරණය සඳහා මොනොවට පරික්ෂිප්ත වෙයි.
(2) තවද මහණෙනි, රජුගේ පසල්නුවරෙහි ගම්භීර වූත් විස්තෘත වූත් පරිඛායෙක් කණනලද වෙයි. මෙ දෙවන නගරපරික්ෂකාරයෙන් රජුගේ ප්රත්යන්ත නගරය ආභ්යන්තරයන්ගේ ගුප්තිය සඳහා බාහිර ශත්රෑන්ගේ නිවාරණය සඳහා මොනොවට පරික්ෂිප්ත වෙයි.
(3) තවද මහණෙනි, රජුගේ ප්රත්යන්ත නගරයෙහි උස් වූ ද පුළුල් වූ ද අනුපරියායපථය (පවුරු ඇතුළත වටා ඇවිදුනා මාවත) වෙයි. රජුගේ ප්රත්යන්ත නගරය අභ්යන්තරවාසීන්ගේ ගුප්තිය සඳහා බාහිරයන් වළහනු සඳහා මේ තෙවන නගරපරික්ෂ්කාරයෙන් පරික්ෂිප්ත වෙයි.
(4) තවද මහණෙනි, රජුගේ ප්රත්යන්ත නගරයෙහි (සත්ති තෝමරාදී) සලාක නම් වූ ද, (ඒකතොධාරාදී) ජෙවනීය නම් වූ ද බොහෝ අවි රැස් කරණලද වෙයි. රජුගේ ප්රත්යන්ත නගරය මේ සතරවන නගරපරික්ෂ්කාරයෙන් ආභ්යන්තරයන්ගේ ගෝපනය සඳහා බාහිරයන්ගේ වාරණය සඳහා සුපරිෂ්කෘත වෙයි.
(5) තවද මහණෙනි, රජුගේ ප්රත්යන්ත නගරයෙහි හස්ත්යාරෝහ ය, අශ්වාරෝහ ය, රථාරෝහ ය, ධ්වජගෙණයනුවෝ ය, (සේනාව්යුහකාරී) චලක ය, (සාහසිකමහායෝධ වූ) පිණ්ඩදායක ය, (සඞ්ග්රාමාවචර) උග්රරාජපුත්රය, (සතුරන් මත කඩාපනනා) ප්රස්කන්දීහු ය, (මහඇත් සමාන) මහානාග ය, අසහාය සූර ය, (සම්සැට්ට ඇඟුලූ) චර්මයෝධි ය, (ගෙහිදාසයන් සමාන) දාසක පුත්රය දැ යි බොහෝ බලකාය වෙසෙයි. රජුගේ ප්රත්යන්ත නගරය මෙ පස්වන නගරපරික්ෂ්කාරයෙන් ආභ්යන්තරවාසීන්ගේ ගෝපනය සඳහා බාහිරයන්ගේ නිවාරණය සඳහා සුපරිෂ්කෘත වෙයි.
(6) තවද මහණෙනි, රජුගේ ප්රත්යන්ත නගරයෙහි පණ්ඩිත වූ ව්යක්ත වූ මේධාවී වූ නො හඳුනන්නවුන් වළහන, හඳුනන්නවුන් ප්රවිෂ්ට කරවන ද්වාරපාලකයෙක් වෙයි. රජුගේ ප්රත්යන්ත නගරය ආභ්යන්තරයන්ගේ ගුප්තිය සඳහා බාහිරයන්ගේ නිවාරණය සඳහා මෙ සවන නගරපරික්ෂ්කාරයෙන් සුපරික්ෂිප්ත වෙයි.
(7) තවද මහණෙනි, රජුගේ ප්රත්යන්ත නගරයෙහි වාසනයෙන් (සිදුරු වැසීමෙන්) ලේපනයෙන් (සුණුපිරියමින්) සම්පන්න වූ උස් වූ ද පුළුල් වූ ද මහපවුරෙක් වෙයි. රජුගේ ප්රත්යන්ත නගරය මෙ සත්වන නගරපරිෂ්කාරයෙන් ආභ්යන්තරයන් රක්නා සඳහා බැහැරියන් වළහනු සඳහා සුපරික්ෂිප්ත වෙයි.
මේ සත් අහර පරිස්කාරයෙන් මනා කොට පරික්ෂිප්ත වෙයි.
කවර අහර සතරක් කැමැති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ විපුල සේ ලබන්නේ වේ ය යත් .
(1) මහණෙනි, මෙලොව්හි රජුගේ ප්රත්යන්ත නගරයෙහි ආභ්යන්තර ජනයාගේ රතිය සඳහාත් ත්රාසයට නො වදනු සඳහාත් පහසු විහරණ සඳහාත් බැහැරියන් නවතනු සඳහාත් බොහෝ තෘණකාෂ්ට හා ජලය රැස් කොට තබනලද වෙයි.