7. 1. 5. 9.
[දානමහප්ඵල සූත්‍රය]
52. එක් සමයෙක්හි භාග්‍යයවතුන් වහන්සේ චම්පා නගරයෙහි ගග්ගරා නම් පොකුණු තෙර වාස කරන්නාහ. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකයෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් චම්පා නගරවාසී උපාසකයෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
“වහන්ස, ශාරීපුත්‍රයෙනි, අප විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැමි කථායෙක් ඇසූ බොහෝ කලි. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දැහැමි කථාවක් අසන්නට ලබමෝ නම් මැනැවැ”යි.
ඇවැත්නි, එකරුණෙන් පොහෝලත් එ දවස්හි එව, භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසන්නට ලබන්නාහු නම් මැනැවැයි. වහන්ස, එසේ යයි එ චම්පෙය්‍යක උපාසකයෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
එකල්හි එ චම්පා නගරවැසි උපාසකයෝ පොහෝලත් එදවස්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් සකසා වැඳ එකත්පස් ව සිට ගත්හ.
එක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ චම්පා නගරවැසි උවසුවන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, මෙ ලොව්හි ඇතැමකු විසින් දෙනලද මහත්ඵල නො වන මහානිසංස නො වන එබඳු (එක් සමාන) දානයෙක් වන්නේ ද, වහන්ස, මෙ ලෙව්හි ඇතැමකු විසින් දෙනලද මහත්ඵල වන මහානිසංස වන එබඳු දානයෙක් ඇත් දැයි.
ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙනලද මහත්ඵල නොවන මහානිසංස නො වන එබඳු දානයෙක් ඇත. ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි, ඇතැම් පුඟුලකු විසින් දෙනලද මහත්ඵල වන මහානිසංස වන එබඳු දානයෙක් ද ඇතැයි.
වහන්ස, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙනලද එබඳු දානයෙක් යම් හෙයකින් මහත්ඵල මහානිසංස නො වන්නේ නම්, ඒ හේතු කවරේ ද, ඒ ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙන ලද එබඳු දානය යම් හෙයෙකින් මහත්ඵල මහානිසංස වේ නම්, ඒ හේතු කවරේ ද, ඒ ප්‍රත්‍යය කවරේ දැ? යි.
(1) ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සාපේක්‍ෂ (තෘෂ්ණා සහිත) වූයේ දන් දෙයි. විපාකයෙහි පිළිබැඳියේ දන් දෙයි සන්නිධිය පතනුයේ (නිධන් කරණ අදහස් ඇතියේ) දන් දෙයි. ‘මෙය පරලොව්හි දී පරිභෝග කරන්නෙමි’යි දන් දෙයි. හේ ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ අන්න, පාන, වස්ත්‍ර යාන, මාලාගන්‍ධවිලේපන, සයන, ආවාස හා ප්‍රදීපෝපකරණ යන එබඳු දනක් දෙයි.
සාරිපුත්තයෙනි, එ කිමැයි හඟිවු ද, මෙලොව ඇතැම් පුඟුලෙක් මෙ බඳු දන් දෙන්නේ දැ?යි වහන්ස, එසේ යි.
ශාරීපුත්‍රයෙනි, එහි යම් මෙ පුඟුලෙක් සාපේක්‍ෂ ව දන් දේ නම්, පිළිබඳ සිතැතියේ දන් දේ නම් සන්නිධිය පතනුයේ දන් දේ නම්, ‘මෙය පරලොව්හි පරිභෝග කරමි’යි දන් දේ නම්, හෙ එදන් දී කාබුන් මරණින් මතු සිවුමහරද වැසියන්ගේ සහභාවයට පැමිණෙයි. හෙ එ කර්‍ම (විපාකය) එ ඍද්ධිය එ යශස් ඒ අධිපති බව ගෙවා මේ මිනිසත් බවට එන සුලු වූයේ ආගාමී (හීන) වෙයි.
(2) ශාරීපුත්‍රයෙනි, මෙ ලෙව්හි ඇතැම් පුඟුලෙක් සාපේක්‍ෂ වූයේ දන් නො ම දෙයි. පිළිබඳ සිතැත්තේ දන් නො ම දෙයි. සන්නිධි අපේක්‍ෂා ඇතියේ දන් නො ම දෙයි. ‘මෙය පරලොව්හි දී පරිභෝග කරමි’ දන් නො ම දෙයි. වැලිත් ‘දානය මනා ය’යි දන් දෙයි ...
(3) “දානය මැනැවයි නො ද දන් දෙයි ... වැලිත් මාතා පිතෲන් විසින් ද පිතාමහයන් විසින් ද දෙන ලද විරූ ය. කරණ ලද විරූ ය, පැරැණි කුලවංශයට අයත් සිරිත පිරිහෙළන්නට නො සුදුස්සෙමි”යි දන් දෙයි ...
(4) “පිය මුතුන් විසින් දෙනලදවිරූ ය, කළවිරූ ය, කුලවස් බිඳුනට නො නිස්සෙමි” දන් නො ද දෙයි. වැලිත් “මම අහර පිසමි. මොහු අහර නො පිසත්. පිසනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිසියෙමි”යි දන් දෙයි ...
(5) “මම පිසමි, මොහු නො පිසන්නාහ. පිසුනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිස්සෙමි”යි ද දන් නො දෙයි. වැලිත් අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන එ ප්‍රසිද්ධ පූර්‍වකාලීන ඍෂීන්ගේ මහායඥයෝ යම් පරිදි වූහු නම් එ පරිද්දෙන් මාගේ මෙ දානය ද දානසංවිභාගයෙක් වන්නේ ය යි දන් දෙයි ...
(6) “යම් පරිදි අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන මෙ බඳු පූර්‍වක වූ එ ප්‍රසිද්ධ ඍෂීන්ගේ මහායඥයෝ වූහු නම්, මාගේ මෙ දානසංවිභාග ද එබඳු වන්නේ ය’යි දන් නො දෙයි. වැලිදු “මෙ දානය දෙන මාගේ චිත්තය ප්‍රසන්න වන්නේ ය, අතත්මනතායෙන් ප්‍රීතිසෞමනස්‍ය ලබන්නේ යයි දන් දෙයි ...
(7) “මෙ දන් දෙන මාගේ චිත්තය පහන් වන්නේ ය, අත්තමනතායෙන් සොම්නස් උපදනේ “යයි දන් නො දෙයි. ‘වැලිත් (සමථ-විපස්සනා චිත්තයට) චිත්තාලඞ්කාරයෙකැයි ද චිත්ත පරිෂ්කාරයෙකැ’යි ද දන් දෙයි. හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්න ය, පාන ය, වස්ත්‍ර ය, යාන ය, මාලාගන්‍ධවිලේපන ය, ශය්‍යාවස්ථ ය ප්‍රදීපෝකරණ යන එ දන් දෙයි.
ශාරිපුත්‍රය, එ කිමැයි හඟිවු ද? මෙලොව්හි ඇතැමෙක් මෙබඳු දන් දෙන්නේ දැ?යි. වහන්ස, එසේ ය.