7. 1. 5. 10.
[නන්දමාතා සූත්රය]
53. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද මහ බික්සඟුන් හා සමග දක්ෂිණගිරියෙහි සැරිසරන්නාහ. එසමයෙහි වේළුකණ්ටකී නන්දමාතා උපාසිකාවෝ රාත්රියෙහි පැසිම්යම්හි නැඟී ‘පාරායණධර්ම’ය (නිර්වාණගාමිමාර්ග ධර්මය) මධුර ස්වරයෙන් කියන්නාහ.
එසමයෙහි වෙස්සවණ මහරජ කිසියම් කිසෙකින් උතුරුදිගින් දකුණුදිගට යෙයි. වෙස්සවණ මහරජ නන්දමාතා උවැසිය විසින් මධුරස්වරයෙන් පාරායණධර්මය කියනු ඇසී ය. අසා ධර්මකථාපර්ය්යවසානය බලමින් සිටියේ ය. එක්බිති නන්දමාතා උපාසිකාව පාරායණධර්මය ස්වරයෙන් කියා තුෂ්ණීම්භූත වූ ය.
එකල්හි වෙසවුණු මහරජ නන්දමාතා උපාසිකාවගේ කථාපර්ය්යවසානය දැන ‘මැනැවි බුහුන, මැනැවි බුහුනැ’යි සතුටින් අනුමෝදන් විය.
භද්රමුඛයෙනි, තෙලෙ කවරෙක් දැයි?
“බුහුන, මම තොප බෑ වෙස්සවණ මහරජ වෙමි’යි.
“භද්රමුඛයෙනි, එකරුණින් ම මා විසින් යම්බඳු මෙ ධර්මපර්ය්යායෙක් කියනලද නම්, මෙය තොපට අතිථී (අත්තුග) පඬුරක් වේවායි.
“බුහුනනියෙනි, මැනැවැ, තෙල පින ද මට අතිථිපඬුර වේවා: සෙට දවස ප්රාතරාස නො කළ සැරියුත්මුගලන් පාමොක් බික්සඟහු වේළුකණ්ටකයට වඩනාහ. එ බික්සඟුන් ද වළඳවා මට දක්ෂිණා (පින්) දෙව. මෙ සේ ද මට අතිථිපඬුර වන්නේය යි.
එකල්හි නන්දමාතා උපාසිකාවෝ රැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්රණීත ඛාදනීය හා භෝජනීය පිළියෙළ කරවූ ය. එක්බිති උදෑසන බත නො වැළඳූ සැරියුත්මුගලන්පාමොක් බික්සඟහු වේළුකණ්ටක නගරයට වැඩියහ.
එකල්හි නන්දමාතා උවැසි එක්තරා පුරුෂයෙකු ඇමතූ ය: එම්බා පුරුෂය එව, තෝ අරමට ගොස් “වහන්ස, ආර්ය්යා නන්දමාතාවගේ නිවෙස්නෙහි බත් නිමවන ලදැ”යි බික්සඟනට දන්වාල යි. එ පුරිස් “එසේය, ආර්ය්යාවෙනි” යි නන්දමාතා උවැසියට පිළිවදන් අස්වා ආරාමයට ගොස් “වහන්ස, ආර්ය්යා නන්දමාතාවගේ නිවෙස්නෙහි බත් නිමවනලදැ”යි භික්ෂුසඞ්ඝයාට කල් දැන්වී ය.
එකල්හි ශාරීපුත්රමෞද්ගල්යායන ප්රමුඛ බික්සඟහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නන්දමාතා උපාසිකාවගේ නිවෙස්නට වැඩියහ. වැඩ පනවනලද අස්නෙහි හුන්හ.
එකල්හි නන්දමාතා උවැසි සැරියුත්මුගලන් පාමොක් බික්සඟුන් ප්රණීත ඛාද්යයෙන් භෝජ්යයෙන් සියතින් සැතැප්වූ ය, පැවරූ ය. එක්බිති නන්දමාතා උපාසිකා දන් වැළඳූ පාත්රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරුන් වෙත එකත්පස්හි හුනු. එකත්පස්හි හුන් නන්දමාතා උවැසියට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
නන්දමාතාවෙනි, තිට බික්සඟුන්ගේ ආගමනය කවරෙක් දැන් වී දැ යි.
වහන්ස, මෙහි මම රෑ පැසිම්යම් යහනින් නැඟී පාරායණසූත්රධර්මය මධුරස්වරයෙන් කියා තූෂ්ණීම්භූත විමි. වහන්ස, එකල්හි වෙසවුණු මහරජ මාගේ ධර්මකථා පර්ය්යවසානය දැන, බුහුන, මැනැවි, බුහුන මැනැවි’යි සතුටින් අනුමෝදන් විය.
‘භද්රමුඛයෙනි, තෙලෙ කවරෙක් දැ’යි. ‘බුහුනනියෙනි, මම තීගේ භ්රාතෘ වූ වෛශ්රණ මහරජ වෙමි.’
භද්රමුඛයෙනි, මැනැව, එකරුණින් ම මා විසින් යම් මෙ ධර්මපර්ය්යායෙක් කියනලද නම්, මෙය තොපට අතිථිපඬුර වේවයි. බුහුනනියෙනි මැනැව, තෙල ද මට අතිථිපඬුර වේවා: සෙට දවස සැරියුත් මුගලන් පාමොක් බික්සඟහු නො කළ උදෑසන බොජුන් ඇතියාහු වේළුකණ්ටකයට වඩනාහ. එ බික්සඟුනුදු වළඳවා මට දක්ෂිණා (පින්) දෙව, තෙල ද මට අතිථිපඬුර වන්නේ ය යි. වහන්ස, “මෙ දන්හි යම් පුණ්යයෙක් වේ නම් එ ම වෙසවුණු මහරජුට සුව පිණිස වේවා”යි.
(1) නන්දමාතාවෙනි, ආශ්චර්ය්ය යි. නන්දමාතාවෙනි, අද්භූත යි. යම් හෙයෙකින් මෙ බඳු මහත් ඍද්ධි ඇති, මෙ බඳු මහේශාක්ය වූ දෙව්පුත්වන වෙසවුණු මහරජ සමහත් හමුයෙහි සංලාප කෙරෙති යන මෙය අද්භූත යි.
(2) වහන්ස, තෙල කරුණ ම මාගේ ආශ්චර්ය්ය අද්භූත ධර්මයෙක් නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්ය්ය ධර්මයෙක් ඇත:
වහන්ස, මෙහි මට ප්රිය වූ මනවඩන්නා වූ නන්ද නම් වූ එක ම පුතෙක් විය. රජහු කිසියම් කරුණක් නිමිති කොට ඔහු බලහත්කාරයෙන් හැද මැඩ දිවියෙන් තොර කළහ. වහන්ස, එ දරු අල්ලාගත් කල්හි හෝ අල්ලා ගණුලබන කල්හි හෝ දඟගෙහි බඳනාලද කල්හි හෝ වධයට පත් කරණු ලබන කල්හි හෝ නසනලද කල්හි හෝ නසනුලබන කල්හි මාගේ චිත්තයාගේ අන්යථාත්වයෙක් (වෙනසක් වූ බවක්) නො ම දනිමි යි.