5. මහායඤ්ඤ වර්‍ගය
7. 1. 5. 1.
[විඤ්ඤාණට්ඨිති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, මෙ (ප්‍රතිසන්‍ධි) විඥානස්ථිතිහු (විඥාන පවත්නා තැන්) සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
1. මහණෙනි, නානාත්‍වකාය නානාත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් මනුෂ්‍යයෝ ද, ඇතැම් දෙවියෝ ද, ඇතැම් වෛමානික ප්‍රේතයෝ ද වෙත්. මෙ ප්‍රථම විඥානස්ථිති ය යි.
2. මහණෙනි, නානාත්‍වකාය හා එකත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් ප්‍රථමධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ ය. මෙ ද්විතීය විඥානස්ථිති යි.
3. මහණෙනි, ඒකත්‍වකාය හා නානාත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් ආභාස්වර දෙවියන් බන්දහ. මෙ තෘතීය විඥානස්ථිති යි.
4. මහණෙනි, ඒකත්‍වකාය හා ඒකත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. සුභකිණ්ණ බඳු දෙවියෝ ය. මෙ චතුර්‍ත්‍ථ විඥානස්ථිති යි.
5. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් (රූපභය ඉක්මවූ) ප්‍රතිඝ (ගැටීම්) සංඥාවන්ගේ අස්තගමයෙන් (අස්තයට යෑමෙන්) නානාත්‍වසංඥාවන්ගේ (රූපද්ධ්‍යානාරම්මණ) අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිතාකාසය (කිසුණුඉගුලු අහස් ‘අනන්තය’යි) ආකාසනාඤ්චායතනූපග සත්ත්‍වයෝ ඇත. මෙ පඤ්චම විඥානස්ථිති යි.
6. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනූපග (දෙවන අරූතෙලෙහි උපන්) සත්ත්‍වයෝ ඇත. මෙ ෂෂ්ඨ විඥානස්ථිති ය යි.
7. මහණෙනි, හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රම කොට ‘නත්‍ථි කිඤ්චි’යි අකිඤ්චඤ්ඤායතනූපග (තෙවන අරූතෙලෙහි උපන්) සත්ත්‍වයෝ ඇත. මෙ සත්තම විඥානස්ථිති ය යි.
මහණෙනි, මොහු සප්තවිඥානස්ථිති යි.
7. 1. 5. 2.
[සමාධිපරික්ඛාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, සමාධිපරිෂ්කාරයෝ (මාර්‍ගසමාධියට සම්භාරයෝ) සතෙකි. කවර සතෙක යත්:
සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති යි.
මහණෙනි, මෙ සත් කරුණින් පරිෂ්කෘත (පෝෂිත වූ) චිත්තයාගේ යම් බඳු ඒකාග්‍රතායෙක් වේ නම්, මහණෙනි, මෙ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය ‘සඋපනිස’ ය යි ද ‘සපරිෂ්කාර’ ය යි ද කියනු ලැබේ යි.
7. 1. 5. 3.
[අග්ගි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, මෙ අග්නි සතෙකි. කවර සතෙක යත්:
රාගාග්නි ය, ද්වේෂාග්නි ය, මෝහාග්නි ය, ආහුනෙයාග්නි (මවුපියාදී සුදුස්සන්ට සත්කාර නොකිරීමෙන් නිරයාදියෙහි වන දුක්දාහ) ය, ගාහපත්‍යග්නි (ගෙහිමි නොතැකීමෙන් ගෙඅඹුවට වන දුක්දාහ) ය, දක්‍ෂිණාර්‍හ (දක්‍ෂිණාර්‍හ භික්‍ෂු සඞ්ඝයාට නින්‍දාපරිභව කිරීමෙන් වන දුක්දාහ) ය, කාෂ්ටාග්නිය (දරගිනි) යි. මහණෙනි, මෙ (දහනාර්‍ත්‍ථ ඇති) අග්නි සත යි.
7. 1. 5. 4.
[මහායඤ්ඤ සූත්‍රය]
47. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණසේක. එ සමයෙහි උග්ගතසරීර බ්‍රාහ්මණයාගේ මහායඥය (යාගයක්) එළැඹියේ ය. යඥය සඳහා පන්සියයක් වෘෂභයෝ යඥයූපය (යාගස්තම්භය) වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරයෝ (වස්සෝ) යඥයූපය වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරීහු (වැස්සියෝ) යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් එළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් තිරෙළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්.
එකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්හි හින. එකත්පසෙක හුන් උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය:
“භවද් ගෞතමයන් වහන්ස, (යඥ සඳහා) මඞ්ගලාග්නිය ගැණුම (මගුල් ගිනි දැල්වීම) ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල වෙයි, මහඅනුසස් ඇති වෙයි යන තෙල කරුණ මා විසින් අසනලදැ” යි.
බ්‍රාහ්මණය, මා විසිනුදු “යාගාග්නිය ගැණුම ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල ඇතියේ ය, මහඅනුසස් ඇතියේ ය” යන තෙල කරුණ අසන ලදැයි වදාළහ.
දෙවන වට දු ... තෙවන වටදු උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය: “භවද් ගෞතමයන් වහන්ස, යාගාග්නිය ගැණුම යඥස්තම්භය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් අසන ලදැ යි. “බ්‍රාහ්මණය, යාගාග්නිය ගැණුම යඥයූපය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් ද අසන ලදැ යි වදාළහ. භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද අපගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද මෙ හැමලෙසින් සම වේ යයි.