7. 1. 5. 4.
[මහායඤ්ඤ සූත්‍රය]
47. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණසේක. එ සමයෙහි උග්ගතසරීර බ්‍රාහ්මණයාගේ මහායඥය (යාගයක්) එළැඹියේ ය. යඥය සඳහා පන්සියයක් වෘෂභයෝ යඥයූපය (යාගස්තම්භය) වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරයෝ (වස්සෝ) යඥයූපය වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරීහු (වැස්සියෝ) යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් එළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් තිරෙළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්.
එකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්හි හින. එකත්පසෙක හුන් උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය:
“භවද් ගෞතමයන් වහන්ස, (යඥ සඳහා) මඞ්ගලාග්නිය ගැණුම (මගුල් ගිනි දැල්වීම) ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල වෙයි, මහඅනුසස් ඇති වෙයි යන තෙල කරුණ මා විසින් අසනලදැ” යි.
බ්‍රාහ්මණය, මා විසිනුදු “යාගාග්නිය ගැණුම ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල ඇතියේ ය, මහඅනුසස් ඇතියේ ය” යන තෙල කරුණ අසන ලදැයි වදාළහ.
දෙවන වට දු ... තෙවන වටදු උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය: “භවද් ගෞතමයන් වහන්ස, යාගාග්නිය ගැණුම යඥස්තම්භය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් අසන ලදැ යි. “බ්‍රාහ්මණය, යාගාග්නිය ගැණුම යඥයූපය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් ද අසන ලදැ යි වදාළහ. භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද අපගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද මෙ හැමලෙසින් සම වේ යයි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ උග්ගතසරීර බමුණුහට තෙල කීහ: බ්‍රාහ්මණය, “භවත් ගෞතමයන් වහන්ස, යඥග්නිය ගැණුම ද යඥයූප නැංවීම ද මහත්ඵල වේ, මහානිසංස වේ යන තෙල මා විසින් අසනලදැ”යි මෙසෙයින් තථාගතයන් වහන්සේ පිළිවිසිය යුතු නො වෙති.
බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ මෙසේ පිළිවිසිය යුතු වෙති: “වහන්ස, මම යඥ පිණිස ගිනි දල්වනු කැමැතියෙමි, යඥස්තම්භ නංවනු කැමැතියෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ඔවදන් කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරණ සේක්වා. යම් හෙයෙකින් එ මට දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එසෙයිනැ”යි.
එකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය: “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි යඥාග්නිය දල්වනු කැමැතියෙමි, යඥස්තම්භ ඔසවනු කැමතියෙමි. භවත් ගෞතමයන් වහන්සේ මට යමක් දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වන්නේ නම් එපරිදි මට අවවාද කරණසේක්වා, භගවත් ගෞතමයන් වහන්සේ මට අනුශාසනා කරණ සේක්වා”යි.
බ්‍රාහ්මණය, යඥ සඳහා අග්නිය දල්වනුයේ යඥ සඳහා ටැම් ඔසවනුයේ යඥයට පළමු ම අකුසල් වූ දුක් උපදවන්නා වූ දුක්විපාක ඇති ශස්ත්‍ර තුණක් ඔසවන්නේ ය. කවර තුණෙක යත්:
කායශස්ත්‍රය, වාක්ශස්ත්‍රය, මනඃශස්ත්‍රය යි.
බ්‍රාහ්මණය, යඥයට අග්නිය දල්වනුයේ යඥයට යූප ඔසවනුයේ යඥයට පළමු ම “යඥ පිණිස මෙතෙක් වෘෂභයෝ නසනු ලබත්වා, යඥ පිණිස මෙතෙක් වත්සතරයෝ නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් වත්සතරීහු නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් එළුවෝ නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් තිරෙළුවෝ නසනු ලබත්වා”යි මෙසේ සිත උපදවන්නේ ය. හෙ ‘පුණ්‍ය කරමැ’යි අපුණ්‍ය කරයි. ‘කුශල් කරමි’යි අකුශල් කරයි. ‘සුගති මාර්‍ගය සොයමි’යි දුර්‍ගති මාර්‍ගය සොයයි. බ්‍රාහ්මණය, යඥයට අග්නි දල්වන්නේ යඥයට ටැම් ඔසවන්නේ යඥයෙන් පූර්‍වයෙහි ම මෙ අකුශල වූ දුක් උපදවන දුඃඛවිපාක ඇති ප්‍රථම මනඃශස්ත්‍රය ඔසවන්නේ ය.
තවද බ්‍රාහ්මණය, යඥයට අග්නි දල්වනුයේ යඥයට ටැම් ඔසවනුයේ යඥයට පූර්‍වයෙහි ම මෙබඳු බස් කියන්නේ ය: “යඥයට මෙතෙක් වෘෂභයෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් වත්සතරයෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් වත්සතරීහු නසනු ලබත්වා. යඥයට මෙතෙක් එළුවෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් තිරෙළුවෝ නසනු ලබත්වා”යි. හෙ ‘පුණ්‍ය කරමි’යි අපුණ්‍ය කරයි. ‘කුසල් කරමි’යි අකුසල් කරයි. ‘සුගතිමග සොයමි’යි දුගතිමග ම සොයයි. බ්‍රාහ්මණය, යාගය සඳහා අග්නි දල්වනුයේ යාගය සඳහා ටැම් ඔසවනුයේ යඥයෙන් පූර්‍වයෙහි ම අකුසල් වූ දුක් උපදවන දුක් උපදවන විපාක ඇති මෙ දෙවන වාක්ශස්ත්‍රය ඔසවන්නේ ය.
තවද බමුණ, යාග පිණිස ගිනි එළවනුයේ යාගස්තම්භ නඟනුයේ යාගයට පෙර ම තෙමේ පළමු කොට යාග පිණිස වෘෂභයන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස වස්සන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස වැස්සන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස එළුවන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස තිරෙළුවන් නසන්නට අරඹා යයි.