6. 1. 2. 9.
[පඨම මරණසති සූත්‍රය]
19. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘නාදික’ නම් ගම්හි ගිඤ්ජකාවසථයෙහි (ගඩොලින් කළ පහයෙහි) වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
මහණෙනි, භාවිත, බහුලීකෘත, මරණසතිය මහත්ඵල මහානිශංස වෙයි, නිවන් පිහිට කොට ඇතියේ වෙයි. අමෘතපර්‍ය්‍යවසාන කොට ඇතියේ වෙයි. මහණෙනි, තෙපි මරණ සති කමටහන් වඩන්නාහු නො? යි.
(1) මෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් “වහන්ස, මම මරණසතිය වඩ මැ යි” භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
මහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මෙ කරුණෙහි ලා මට මෙසිත වෙයි: “මම එක් රෑ දවාලක් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක්කල්) භාග්‍යවතුන් වහන්සේගේ (ආර්‍ය්‍ය මාර්‍ග ප්‍රතිවේධාවහ වූ) ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් ආත්මහිත වූ මහණකිස බෙහෙවක්ම කරණ ලද වන්නේ ය”යි. වහන්ස, මම මෙසෙයින් මරණ සති වඩමැ යි.
(2) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “වහන්ස, මම ද මරණ සති වඩමැ”යි.
මහණ, තෝ කිසෙයින් මරණ සති වඩහි දැ?යි.
වහන්ස, මට මෙ කරුණෙහි ලා මෙ සිත වෙයි: “මම දවසක් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත වූ මහණකිස කරණ ලද වෙයි.” වහන්ස, මෙසෙයින් මම මරණ සතිය වඩමි යි.
(3) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
මහණ, තො කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මට මෙ කරුණෙහි ලා මෙබඳු සිතෙක් වෙයි: “යම් පමණ කලෙකින් එක් දවසක් යැපෙන පමණ වළඳම් නම්, ඒකාන්තයෙන් එතෙක් කල් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කෙරෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණලද වේ ය”යි. වහන්ස, මම මෙ සෙයින් මරණ සතිය වඩමි යි.
(4) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි තෙල සැළ කෙළේය.
මහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මෙ කරුණෙහි ලා මට මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් සතර පස් පිඬක් සපා ගිලැගනිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් එකැතියෙන් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ ය යි.
(5) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
මහණ, තෝ කෙසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මෙ විෂයෙහි ලා මට මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් එක් අහර පිඬක් සපා වළඳම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ කොට ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය”යි. වහන්ස, මම මෙ සෙයින් මරණ සතිය වඩමි යි.