2. සාරාණීය වර්‍ගය
6. 1. 2. 1.
[පඨමසාරාණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මෙ සාරාණීය (සිහිකටයුතු) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණහට මෛත්‍රියෙන් යුත් කාය කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
(2) තවද මහණෙනි, භික්‍ෂුහට මෛත්‍රියෙන් යුත් වාක් කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
(3) තවද මහණෙනි, භික්‍ෂුහට මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
(4) තවද මහණෙනි, මහණ දැහැමි වූ ධර්‍මයෙන් ලබනලද යටත් පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්න (භික්‍ෂා) මාත්‍ර වූ ද යම්ම ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු සිවුපසලාභයෙන් වෙන වෙන (මෙපමණ දෙමි - මොහුට දෙමි - ආදීන් සිතින්) නො බෙදුවා (සමසේ බෙදා) වළඳන සුලුව, සිල්වත් සබ්‍රම්සරුන් හා සමග සාධාරණ කොට වළඳන සුලුයේ වෙයි. මෙ ද සාරාණීය ධර්‍මයෙකි.
(5) තවද මහණෙනි, මහණ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධිය සඳහා වැටෙන යම්බඳු වූ ශීලයෝ වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් ශීලසාමාන්‍යයට (ශීලයෙන් සමබවට) ගියේ වාසය කෙරෙයි. මෙ ද සාරාණීය ධර්‍මයෙකි.
(6) තවද මහණෙනි, මහණ නෛර්‍ය්‍යාණික වූ යම්ම ආර්‍ය්‍ය දෘෂ්ටියෙක් එ වූ පරිදි කරන පුද්ගලයාගේ මොනවට දුඃඛක්‍ෂයය පිණිස යේ නම්, එ බඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් දෘෂ්ටි සාමාන්‍යයට ගියේ වාස කෙරෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
මහණෙනි, මේ සාරාණීයධර්‍ම සයයි.
6. 1. 2. 2.
[දුතියසාරණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, සබ්‍රම්සරුනට ප්‍රිය කරණ ගරු කරණ, සඞ්ග්‍රහ සඳහා අවිවාද සඳහා සමගි බැව් සඳහා ඒකීභාවය සඳහා පවත්නා මේ සාරාණීය ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහුගේ මෛත්‍රියෙන් යුත් කාය කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් එළඹ සිටියේ වෙයි. සබ්‍රම්සරුන්ට ප්‍රිය කරණ ගරු කරණ, මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍ර පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, ඒකීභාවය පිණිස වැටෙයි.
(2) තවද මහණෙනි, භික්‍ෂුහුගේ මෛත්‍රියෙන් යුත් වාක්කර්‍මය ... එළඹ සිටියේ වෙයි ...
(3) [තවද මහණෙනි, භික්‍ෂුහුගේ] මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, ඒකී භාවය පිණිස වැටෙයි.
(4) තවද මහණෙනි, මහණ දැහැමි වූ ධර්‍මයෙන් ලද යටත් පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වූ ද යම් ඒ ලාභයෝ වෙත් නම්, එබඳු ලාභයෙන් අප්‍රතිවිභක්තභෝගී වෙයි, සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණ භෝගී වෙයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකී භාවය පිණිස වැටෙයි.
(5) තවද මහණෙනි, මහණ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධියට වැටෙන යම් ඒ ශීලයෝ වෙත් නම් එබඳු මාර්‍ගශීලයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි හා නො හමුයෙහි හා ශීලසාම්‍යයට ගියේ වසයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහය පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකී භාවය පිණිස වැටෙයි.
(6) තවද මහණෙනි, මහණ නෛර්‍ය්‍යාණික වූ යම් ඒ ආර්‍ය්‍ය දෘෂ්ටියෙක් එය කරණුවහට මනාකොට දුඃඛක්‍ෂය පිණිස යේ නම්, එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි හා නො හමුයෙහි හා දෘෂ්ටිසාම්‍යයට ගියේ වසයි. ප්‍රියකරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
මහණෙනි, ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍ම සදෙන සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකීභාවය පිණිස වැටෙත් යයි.
6. 1. 2. 3.
[නිස්සාරණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, මෙ නිස්සාරණීය ධාතු සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් (ත්‍රීකචතුෂ්ක ධ්‍යානික) මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිත ය. පුන පුනා කරණලදු. යුක්තයානසදෘශ කරණලදු. පිහිට කරණලදු. ඉටනලදු. පුරුදුකරණලදු. මොනොවට ප්‍රගුණ කරණ ලදු. එතෙකුදු වුව ව්‍යාපාදය මාගේ චිත්තය වටාගෙණ සිටුනේය”යි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කියැයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කරණු නොමනා ය. ඇවැත්නි, මෛත්‍රී චිත්තවිමුක්ති භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු ව්‍යාපාදය ඔහුගේ සිත මැඩගෙණැ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අවකාශ නැත, මෙ කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම්බඳු මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙක් වේ නම්, තෙල කරුණ ව්‍යාපාදයාගේ ම නිස්සරණ යි.”