1. ප්‍රථම පණ්ණාසකය
1. ආහුනෙය්‍යවර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
6. 1. 1. 1.
[පඨමාහුනෙය්‍ය සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළසේක:
මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බනයක් දැක (රාගසහගත සොම්නස් විසින්) සුමනස්ක නො මැ වෙයි. (දොස්සහගිය දොම්නස් විසින්) දුර්‍මනස්ක නො මැ වෙයි සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වාස කෙරෙයි.
ශ්‍රෝත්‍රයෙන් ශබ්දාලම්බනයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බනයක් ආඝ්‍රාණ කොට ... ජිහ්වායෙක් රසාලම්බනයක් විඳ ... කායයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයක් පැහැස ... මනසින් ධර්‍මාලම්බනයක් දැන නො මැ සුමනස්ක වෙයි. දුර්‍මනස්ක නො මැ වෙයි. සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වාසය කෙරෙයි.
මහණෙනි, මේ සදහමින් සමන්‍වාගත රහත් මහණ ආහුනෙය්‍ය හා පාහුනෙය්‍ය හා දක්ඛිණෙය්‍ය හා අඤ්ජලිකරණීය හා ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
6. 1. 1. 2.
[දුතියාහුනෙය්‍ය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ අනේකවිධ ඍද්ධි ප්‍රභේද විඳුනේය: පියෙවින් එකක් ව සිට (ශතසහස්‍රාදීන්) බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාරව එකෙක් ම වෙයි. ආවිර්භාව කෙරෙයි. තිරොභාව කෙරෙයි. භිත්තියෙන් පරභාගයට පවුරින් පරභාගයට පර්‍වතයෙන් පරභාගයට අහස්හි සේ නො ලැගෙමින් යෙයි. දියෙහි මෙන් පොළොව්හිදු නැඟීම් හා ගැලීම් කෙරෙයි. පොළොව්හි සෙයින් නො බිඳුනාදියෙහි දු යෙයි. පක්‍ෂිශකුනයකු සෙයින් අහස්හිදු පලගින් යෙයි. ඒසා මහත් ඉදුහ ඇති ඒසා මහත් ආනුභාව ඇති මේ සදහිරුනුදු අත්ලෙන් පරාමර්‍ශ කෙරෙයි. පරිමාර්‍ජන කෙරෙයි. බඹලොව ද හිම්කොට කයින් විසිය පවත්වයි.
(2) පරිශුද්ධ වූ මිනිසැස් ඉක්මගිය දිව සෝධයින් දිව්‍යවූත් මානුෂ වූත් දුරැ වූත් හමුයෙහි වූත් යම් ශබ්දකෙනෙක් වෙත් නම්, ඒ උභය ශබ්දයන් අසයි.
(3) පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ නානාප්‍රකාරයෙන් දන්නේය: (අෂ්ටවිධ) සරාගචිත්තය හෝ සරාගචිත්තය’යි දන්නේ ය. (අවශේෂකුශලාව්‍යාකෘත) වීතරාග චිත්තය හෝ වීතරාගචිත්ත ය යි දන්නේ ය. (ද්විවිධදෞර්‍මනස්‍යසහගත) සදෝස චිත්තය හෝ ... (චාතුභූමකකුසලාබ්‍යාකත) වීතදෝස චිත්තය හෝ ... (විචිකිච්ඡා උද්ධච්ච සහගත) සමෝහචිත්තය හෝ ... වීතමෝහ වූ හෝ චිත්තය ... (ථින මිද්ධානුගත) සඞ්ඛිත්තචිත්තය හෝ ... (උද්ධච්චානුගත) වික්ඛිත්ත චිත්තය හෝ ... (රූපාවචරාරූපාවචර) මහද්ගතචිත්තය හෝ ... (අවශේෂ) අමහද්ගත චිත්තය හෝ ... (සකලත්‍රෛභූමක) සඋත්තර චිත්තය හෝ ... (ලෝකෝත්තර) අනුත්තර චිත්තය හෝ ... (උපචාරාර්‍පණාප්‍රාප්ත) සමාහිත වූ හෝ චිත්තය ... (එදෙකට නො පත්) අසමාහිත වූ හෝ චිත්තය ... (පඤ්චවිධ විමුක්තියෙන්) විමුක්ත වූ හෝ චිත්තය ... (එයින් විමුක්ත නොවූ) අවිමුක්ත වූ හෝ චිත්තය අවිමුක්ත චිත්ත ය යි දන්නේ ය.
(4) අනේකවිධ වූ පූර්‍වනිවාස සිහිකෙරෙයි. එ කෙසේ ය යත්: එක් දැයකුදු ජාති දෙකකුදු ජාති තුණකුදු ජාති සතරකුදු ජාති පසකුදු දශජාතියකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු සතලිස් ජාතියකුදු ජාති පණසකුදු, ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු, නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු සිහිකරයි: ‘අසෝ තන්හි මෙබඳු නම් ඇතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැතියෙම්, මෙබඳු අහරැතියෙම්, මෙබඳු සුවදුක් විඳුනා සුල්ලෙම්, මෙබඳු ආයුෂ හිම් කොට ඇති යෙම්’ වීමි. ඒ මම එයින් සැවැ අසෝ තන්හි උපන්මි. එහිදු මෙබඳු නැමැති යෙම්, මෙ බඳු ගොත් ඇති යෙම්, මෙබඳු සිරුරු පැහැ ඇතියෙම්, මෙබඳු අහර ඇතියෙම්, මෙබඳු සුවදුක් විඳුනාසුල්ලෙම්, මෙබඳු ආයුෂ හිම් කොට ඇතියෙම් වීමි. ඒ මම එතැනින් සැවැ මෙහි උපන්මි’යි මෙසේ පැහැසටහන් ඈ විසින් ආකාර සහිත, (නාමගෝත්‍රාදි විසින්) උද්දේස සහිත වූ අනේක විධ පූර්‍වනිවාසය අනුස්මරණය කරයි.