6. 1. 2. 10.
[දුතිය මරණසති සූත්‍රය]
20. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, භාවිත බහුලීකෘත මරණසතිය මහත්ඵල මහානිසංස ඇත්තී අමෘත සඞ්ඛ්‍යාත නිවනට බැස ගැනුම් ඇත්තී අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී වෙයි.
මහණෙනි, කිසෙයින් මරණසතිය භාවිත වූවා කිසෙයින් බහුලීකෘත වූවා මහත්ඵල මහානිසංස ඇත්තී නිවන් බැස ගැනුම් ඇත්තී අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී ය යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ දවකල් නික්ම යත්ම රැය එළඹෙත් ම මෙසේ නුවණින් සලකයි: “මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝ වෙති: සපෙක් හෝ මා ඩස්නේ ය. නුහුසුවෙක් හෝ මා ඩස්නේ ය. පත්වහයෙක් හෝ මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරායෙක් වෙයි. පැකිලැ හෝ මම් හෙනුයෙම් නම්, මා බිදි බත හෝ නො දිරා නම්, මාගේ පිත හෝ කිපේ නම්, මාගේ සෙම හෝ කිපේ නම්, මාගේ ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙත් නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. එ මට අන්තරායෙක් වේ”යි.
(2) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු: “රාත්‍රියෙහි කලුරිය කරණ මා හට අන්තරාය කර වූ මාගේ අප්‍රහීණ වූ අකුශල ධර්‍මයෝ ඇත් දැ?”යි. මහණෙනි, ඉදින් මහණ මෙසේ නුවණින් සළකනුයේ “රාත්‍රියෙහි කලුරිය කරණ මට අන්තරාය පිණිස වැටෙන මාගේ අප්‍රහීණ අකුශල ධර්‍මයෝ ඇතැයි”, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් සම්පාදන වීර්‍ය්‍යයත් නොහැකිළෙන වැරත් සතියත් සම්පජඤ්ඤයත් කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියේ වේව යි, ගිනි ඇවිළ ගත් හිස ඇතියේ වේව යි, ඒ පිළි හෝ ඒ හිස නිවීම සඳහා ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් උස්සොළ්හියත් අප්‍රතිවානියත් සතියත් සම්ප්‍රජන්‍යයත් යම් පරිදි කෙරේ නම්, මහණෙනි, එ පරිදි ම මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හීය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය හා කටයුතු.
(3) මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “රාත්‍රියෙහි කලුරිය කරණ මට අන්තරාය පිණිස පවත්නා අප්‍රහීණ වූ ලාමක අකුශල ධර්‍මයෝ නැතැ”යි මෙසේ දන්නේ නම්, මහණෙනි, ඒ මහණහු විසින් කුශලධර්‍මයන්හි අහෝරාත්‍රයෙහි හික්මෙන්නහු විසින් එ ප්‍රීතිප්‍රමෝදයෙන් විසිය යුතුය.
(4) මහණෙනි, මෙ සස්නෙහි මහණ රෑ ඉක්ම යත් ම දවහල් එළඹෙත් ම මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේය: “මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝහ. සර්‍පයෙක් වේව යි මා ඩස්නේ ය. වෘශ්චිකයෙක් වේව යි මා ඩස්නේ ය. ශතපදිකයෙක් වේව යි මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙයි. මම පැකිල හෝ හෙම් නම්, මා විසින් බිදි බත හෝ නො පස්නේ වේ නම්, මාගේ පිත හෝ කුප්නේ නම්, මාගේ සෙම හෝ කුප්නේ නම්, මාගේ ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙත් නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙ”යි.
(5) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “යම් ම අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය පිණිස වෙත්නම්, මට අප්‍රහීණ වූ එබඳු ලාමක අකුශලයෝ ඇද්දැ?”යි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “දාවල් කලුරිය කරණ මට යම් අකුසල් කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම්, එබඳු අප්‍රහීණ ලාමක අකුශලධර්‍මයෝ මට ඇතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියෙක් වේව යි, ගිනි ඇවිළගත් හිසි ඇතියෙක් වේව යි, එ පිළිය හෝ හිස නිවන්නට අධිමාත්‍ර ඡන්‍ද හා ව්‍යායාම හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කරන්නේ ය. මහණෙනි, එ පරිද්දෙන් ම එ මහණහු විසින් එ ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමත් උත්සාහයත් උස්සොළ්හීයත් අප්‍රතිවානියත් ස්මෘතියත් සම්ප්‍රඥානයත් කටයුතු.
(6) මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “යම් අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුශලධර්‍මයෝ මට නැතැ”යි මෙසේ දන්නේ නම් මහණෙනි, එ මහණහු විසින් අහෝරාත්‍රයෙහි කුශලධර්‍මයන්හි හික්මෙන්නහු විසින් එ ප්‍රීතිප්‍රමෝදයෙන් වාස කටයුතු.
මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද මරණසති තොමෝ මහත්ඵල මහානිසංස වෙයි. අමතෝගධ වෙයි. අමතපරියොසාන වෙයි.
සාරාණීය වර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
සාරාණීයසූත්‍ර දෙකක, නිස්සාරණීයසූත්‍රය, භද්දකසූත්‍රය, අනුතප්පියසූත්‍රය, නකුලසූත්‍රය, කුශලසූත්‍රය, මච්ඡසූත්‍රය, මරණසතිසූත්‍ර දෙක දැයි දසයෙකි.