6. 1. 2. 8.
[මච්ඡික සූත්රය]
18. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මහබික් සඟුන් සමග කෝශල ජනපදයෙහි සැරිසරණසේක. භාග්යවතුන් වහන්සේ අදන්මගට පිළිපන් සේක්, අන්යතර ප්රදේශයෙක්හි මසුන් බඳනා මසුන් මරමරා විකුණන මත්ස්යඝාතකයකු දුටුසේක. දැක වදාරා මාර්ගයෙන් ඉවත්ව එක්තරා වෘක්ෂ මූලයෙක්හි පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩැහිඳ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක:
මහණෙනි, තෙපි තෙල මසුන් බඳනා, මසුන් මරමරා විකුණන, මත්ස්යඝාතකයා දක්නහු දැ?යි
වහන්ස, එසේ ය.
මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? තොප විසින් මසුන් බඳනා මසුන් මරමරා විකුණන මත්ස්යඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් හස්තියානයෙන් යන සුලුයේ හෝ අශ්වයානයෙන් යන සුලුයේ හෝ රථයෙන් යන සුල්ලේ හෝ යානයෙන් යන සුල්ලේ හෝ භෝගයන් බුදිනා සුල්ලේ හෝ මහත් භෝගස්කන්ධයක් ලැබ වසන්නේ හෝයි දක්නා ලද හෝ අසන ලද දැ?යි.
වහන්ස, තෙල කරුණ නැත් මැයි.
මහණෙනි, මැනැව, මහණෙනි, මා විසිනුදු මසුන් බඳනා මසුන් මර මරා විකුණනා මත්ස්යඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් ඇතු පිටින් යන සුලුයේ වේවයි, අසුපිටින් යන සුලුයේ වේවයි, රියෙන් යන සුලුයේ වේවයි, යානයෙන් යන සුලුයේ වේවයි, භොග වළඳන සුලුයේ වේවයි, මහත් වූ භොග ස්කන්ධය ලබා වසන්නේ වේවයි යන තෙල කරුණ නො ම දක්නා ලදය, නො අසන ලදය.
එයට කවර හේතුය යත්:
මහණෙනි, හේ වධයට එළවන ලද එ මසුන් ලාමක වධක චිත්තයෙන් ම නහමයි. එහෙයින් හේ හස්තියායී නො ම වෙයි. අශ්වයායී නො ම වෙයි, රථයායී නො ම වෙයි, නො ම යානයායී වෙයි, නො ම භෝගභෝගී වෙයි, මහත් භෝගස්කන්ධය ලැබ වසන්නේ නො වෙයි.
මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? ගවයන් මරමරා විකුණන ගෝඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් හස්තියායී හෝ අශ්වයායී හෝ රථයායී හෝ යානයායී හෝ භෝගභෝගී හෝ මහත් භෝගස්කන්ධය ලබා වෙසෙන්නේ හෝ යයි තොප විසින් දක්නා ලද හෝ අසන ලද දැ? යි.
වහන්ස, තෙල නැත් මැයි.
මහණෙනි, මැනව, මා විසිනුදු ගවයන් මරමරා විකුණන ගෝඝාතකයෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් හස්තියායී හෝ අශ්වයායී හෝ රථයායී හෝ යානයායී හෝ භෝගභෝගී හෝ මහත් භෝගස්කන්ධය ලැබ වසන්නේ හෝ යයි යන තෙල කරුණ නො ම දක්නා ලදය, නො ම අසන ලදය.
ඒ කවර හෙයින යත්:
මහණෙනි, හෙතෙම වධය පිණිස ගෙණෙන ලද ඒ ගවයන් පවිටු මනසින් නහමයි. එ හෙයින් හේ හස්තියායී හෝ නොවේ. අශ්වයායී හෝ නොවේ. රථයායී හෝ නොවේ. යානයායී හෝ නොවේ. භෝගභෝගී හෝ නොවේ. මහත් භෝගස්කන්ධය හෝ ලබාගෙණ නො වසයි.
මහණෙනි, එ කවරැයි හඟිවු ද? මහණෙනි, තොප විසින් “බැටළුවන් මරන්නෙක් ... හූරන් මරන්නෙක් ... ලිහිණි වැද්දෙක් ... මුවන් මරමරා විකුණන මුවවැද්දෙක් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් ඇතුන් පිට යනුයේ හෝ අසුන් පිට යනුයේ හෝ රියෙන් යනුයේ හෝ යානයෙන් යනුයේ හෝ භෝගවළඳ කරනුයේ හෝ මහත් භෝගස්කන්ධය හෝ ලබාගෙණ වසනුයේ දක්නා ලද හෝ අසන ලද හෝ වේ දැ?”යි.
වහන්ස, තෙල කරුණ නැත් මැයි.
මහණෙනි, මැනව, මහණෙනි මා විසිනුදු මුවවැද්දෙක් මුවන් මරමරා විකුණමින් ඒ කර්මයෙන් ඒ ආජීවයෙන් හස්තියායියෙක් හෝ අශ්වයායියෙක් හෝ රථයායියෙක් හෝ යානයායියෙක් හෝ භෝගභෝගියෙක් හෝ මහත් භෝගස්කන්ධය ලැබ වසන්නේ යයි හෝ යන තෙල කරුණ නො ම දක්නා ලද, නො ම අසන ලදැයි.
ඒ කවර හෙයින යත්:
මහණෙනි, වධයට එළවන ලද එ මුවන් වධක සිතින් නහමයි. එහෙයින් හේ නො ම හස්තියායී වෙයි, අශ්වයායී නො වෙයි, රථයායී හෝ නො වෙයි, යානයායී හෝ නො වෙයි, භෝගභෝගී හෝ නො වෙයි, මහත් භෝගස්කන්ධය ලබමින් නො වෙසෙයි.
මහණෙනි, හෙතෙම වධයට එළවන ලද එ තිරිසන්ගිය ප්රාණීන් ලමු සිතින් නහමනුයේ නො ම හස්තියායී වෙයි. නො ම අශ්වයායී වෙයි. නො ම රථයායී වෙයි. නො ම යානයායී වෙයි. භෝග-භෝගී නො ම වෙයි. මහත් භෝගස්කන්ධය ලබාගෙණ නො ම වසන්නේ ය. යම් හෙයෙකින් වධයට එළවන ලද මනුෂ්යයකු වධක සිතින් බලන්නේ ය යන්න ඇරැබ කවර කථායෙක. මහණෙනි, එය ඔහට දිගු කලක් අහිතයට දුකට වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි.
6. 1. 2. 9.
[පඨම මරණසති සූත්රය]
19. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ‘නාදික’ නම් ගම්හි ගිඤ්ජකාවසථයෙහි (ගඩොලින් කළ පහයෙහි) වැඩ වසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි එ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
මහණෙනි, භාවිත, බහුලීකෘත, මරණසතිය මහත්ඵල මහානිශංස වෙයි, නිවන් පිහිට කොට ඇතියේ වෙයි. අමෘතපර්ය්යවසාන කොට ඇතියේ වෙයි. මහණෙනි, තෙපි මරණ සති කමටහන් වඩන්නාහු නො? යි.