6. 1. 2. 5.
[අනුතප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, යම් යම් වැ පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුශොචනා කටයුතු වේ නම්, මහණ ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කෙරේ නම්, කෙසේ මහණ ඒ ඒ පරිද්දෙන් වාස කෙරේය යත්:
ඇවැත්නි, මේ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මයෙහි අභිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි. භාෂ්‍යාරාම ඇතියේ ... වෙයි. නිද්‍රාරාමතා ඇතියේ ... සඞ්ගණිකාරාමතා ඇතියේ ... සංසර්‍ගාරාමතා ඇතියේ ... වෙයි. ප්‍රපඤ්චාරාමතා ඇතියේ ප්‍රපඤ්චරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි ...
ඇවැත්නි, මහණ මෙ සෙයින් යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කටයුතු වේ නම්, ඒ ඒ පරිදියෙන් විහරණ කරන්නේ ය. ඇවැත්නි, සත්කායයෙහි අභිරත මෙ මහණ මනා හේතුයෙන් වෘත්තදුඃඛයාගේ ක්‍ෂය කිරීම සඳහා සත්කාය ප්‍රහීණ නො කෙළේ ය යි කියනු ලැබේ.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාපකර නො වේ නම්, භික්‍ෂු ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාපකර නො වේ නම්, මහණ කෙසෙයින් එ එ පරිද්දෙන් වාස කරන්නේය යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාමතා නැතියේ කර්‍මරත නො වූයේ කර්‍මාරාමතායෙහි අනුයුක්ත නො වෙයි ... භාෂ්‍යාරාම නො වෙයි ... නිද්‍රාරාම නො වෙයි ... සඞ්ගණිකාරාම නො වෙයි ... සංසර්‍ගාරාම නො වෙයි ... ප්‍රපඤ්චාරාම නො වූයේ ප්‍රපඤ්ච රත නො වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි.
ඇවැත්නි, යම් යම් අයුරෙකින් වෙසෙන ඔහට කාලක්‍රියාව අනුතාප නො වේ නම්, භික්‍ෂු මෙ සෙයින් එ එ පරිදි වාසය කරන්නේ ය. ඇවැත්නි, නිර්‍වාණයෙහි අභිරත වූ මෙ මහණ මැනැවින් දුඃඛක්‍ෂය කරනු සඳහා සත්කාය ය ප්‍රහීණ කෙළේ යයි කියනු ලැබේ.
3. යමෙක් මෘග සදෘශ වූයේ ප්‍රපඤ්චයෙහි අනුයුක්ත වූයේ වේ නම්, අනුත්තර යෝගක්‍ෂේම නිර්‍වාණය වැරැදැ විය.
4. යමෙක් ප්‍රපඤ්චය හැරදමා නිෂ්ප්‍රපඤ්ච (නිර්‍වාණ) පදයෙහි ඇලුනේ ද, හේ අනුත්තර යෝගක්‍ෂේම නිර්‍වාණ පදය ඇරැයී යයි.
6. 1. 2. 6.
[නකුලපිතු සූත්‍රය]
16. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය සමීපයෙහි භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩ වසන සේක. එ කල්හි නකුල පිතෘ ගෘහපති රෝගී වූයේ හටගත් දුක් ඇතියේ දළ ගිලන්බව ඇතියේ වෙයි. එක්බිති නකුල මාතෘ ගැහැවිදූ නකුල පිතෘගෘහපතිහට තෙල කරුණ සැළකළා ය:
(1) ගෘහපතියෙනි, මුඹ සාපේක්‍ෂව (තෘෂ්ණාසහිතව) නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂහට කලුරිය කිරීම දුක් වෙයි. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය. ගෘහපතියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෙහි දරුවන් පුස්නට ගෘහවාසය පවත්වනුවට නො හැකිවන්නීය” යන මෙබඳු සිතෙක් මුඹට වනු හැකි. ගෘහපතියෙනි, තෙල කරුණ එසෙයින් නො දැක්ක යුතු. ගෘහපතියෙනි, මම කපු කටිනට, එළු ලොම් වෙළු නෙළනට කුසලයෙමි. ගෘහපතියෙනි, මුබගේ ඇවෑමෙන් මම දරුවන් පුස්නට හා ගෘහවාසය පවත්වනුවට පොහොසත්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය.