6. 1. 2. 6.
[නකුලපිතු සූත්‍රය]
16. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය සමීපයෙහි භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩ වසන සේක. එ කල්හි නකුල පිතෘ ගෘහපති රෝගී වූයේ හටගත් දුක් ඇතියේ දළ ගිලන්බව ඇතියේ වෙයි. එක්බිති නකුල මාතෘ ගැහැවිදූ නකුල පිතෘගෘහපතිහට තෙල කරුණ සැළකළා ය:
(1) ගෘහපතියෙනි, මුඹ සාපේක්‍ෂව (තෘෂ්ණාසහිතව) නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂහට කලුරිය කිරීම දුක් වෙයි. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය. ගෘහපතියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෙහි දරුවන් පුස්නට ගෘහවාසය පවත්වනුවට නො හැකිවන්නීය” යන මෙබඳු සිතෙක් මුඹට වනු හැකි. ගෘහපතියෙනි, තෙල කරුණ එසෙයින් නො දැක්ක යුතු. ගෘහපතියෙනි, මම කපු කටිනට, එළු ලොම් වෙළු නෙළනට කුසලයෙමි. ගෘහපතියෙනි, මුබගේ ඇවෑමෙන් මම දරුවන් පුස්නට හා ගෘහවාසය පවත්වනුවට පොහොසත්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය.
(2) ගැහැවියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෘහපත්නි අන් වරයකු (සැමියකු) වෙත යන්නී ය” මෙ බඳු සිතෙක් මුබට විය හෙන්නේ ය. ගැහැවියෙනි, තෙල එසේ නො දැක්ක යුතු. ගැහැවියෙනි, යම් කලෙක අප විසින් සොළොස්වසක් ගෘහස්ථක බ්‍රහ්මචර්‍ය්‍යය සමාදන් වන ලද නම් එ බව මුබ ද දන්ව, මම් ද දන්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂකයාගේ කාලක්‍රියාව දුකෙක. භාග්‍යවතුන් වහන්සේ විසිනුදු සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගරහන ලදු.
(3) ගෘහපතියෙනි, “නකුලමාතා ගෘහපත්නිය මගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ දක්නට, භික්‍ෂු සඞ්ඝයා දක්නට නො කැමැති වේ”ය යි යන මෙ බඳු සිතෙක් මුබට වනු හෙයි. ගෘහපතියෙනි, තෙල මෙසේ නො දැක්කයුතු. මම මුබගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වැඩියක් ම දක්නා කැමැතියෙමි. බික්සඟුන් වැඩියක් ම දකිනු කැමැතියෙමි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂකව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු.
(4) ගැහැවියෙනි, “නකුලමාතෘගෘහපත්නි මාගේ ඇවෑමෙන් ශීලයෙහි පරිපූරකාරිණී නො වන්නීය” යන මෙ බඳු සිතෙක් තොපට ඇතිවිය හෙයි. ගෘහපතියෙනි, තෙල එසේ නො දැක්කයුතු. ගෘහපතියෙනි, එ භගවත්හුගේ සුදුවත් හඳනා ගෙහි වසන සිල්හි පරිපූරකාරිණී වූ යම් පමණ ශ්‍රාවිකාවෝ වෙත් නම් මම උන් අතුරෙහි අන්‍යතරයක්මු. යමකුට මෙය පිළිබඳ කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ නම්, එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර අසල භේසකලා වන නම් මිගදාවයෙහි වසන සේක. ඒ භගවතුන් කරා ගොස් පුළුවුස්වා. ගැහැවියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ නහමක් සාපේක්‍ෂව කලුරිය කරව. ගැහැවියෙනි, සාපේක්‍ෂයාගේ කලුරිය දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භගවත්හු විසිනුදු ගර්හිත ය.
(5) ගෘහපතියෙනි, “නකුලමාතෘගෘහපත්නී අධ්‍යාත්මයෙහි චිත්තශමථය නො ලබන්නීය” යන මෙ බඳු සිතෙක් තට විය හෙයි. ගැහැවියෙනි, තෙල කරුණ එසේ නො දැක්ක යුතු. ගැහැවියෙනි, ගිහිගෙයි වසන සුදුවත් හැඳි අධ්‍යාත්මයෙහි චිත්තශමථය ලබනසුලු යම් පමණ ශ්‍රාවිකාවෝ ඒ භගවත්හට වෙත් නම්, මම උන් අතර අන්‍යතරයක්මු. යමකුට මෙය පිළිබඳ කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ නම් මෙ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර අසල භෙසකලාවන නම් මිගදාවයෙහි වෙසෙති. ඒ භගවත්හු කරා එළඹ පුළුවුස්වා. ගැහැවියෙනි, එහෙයින් මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගර්හිත ය.