6. 1. 2. 4.
[භද්දක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ “ඇවැත් මහණෙනි”යි මහණුන් ඇමතූහ. “ඇවැත්නි”යි එ භික්‍ෂූහු ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ තෙල කරුණ දෙසූහ:
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඒ මහණහුට භද්‍ර වූ මරණයෙක් නො වේ නම්, භද්‍ර වූ කාලක්‍රියායෙක් නො වේ නම්, මහණ එ එ පරිද්දෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, යම් යම් මැ පරිද්දෙකින් වාස කරණ එ මහණහුට භද්‍ර මරණයෙක් නො වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් නො වේ නම්, මහණ ඒ ඒ පරිදියෙන් කෙසේ වෙසේය යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මනිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි පුන පුනා යෙදුනේ (ග්‍රන්‍ථධුරාදියෙහි නොයෙදුනේ) වෙයි. භාෂ්‍යාරාම (දොඩමලු බවෙහි ඇලුම්) ඇතියේ භාෂ්‍යයෙහි නිරත වූයේ භාෂ්‍යාරාමත්‍වයෙහි නැවැත නැවැත යෙදුනේ වෙයි. නිද්‍රාරාම වූයේ නිද්‍රායෙහි නිරත වූයේ නිද්‍රාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි. ගණසඞ්ගණිකාරාම වූයේ ගණසඞ්ගණිකායේහි නිරත වූයේ සඞ්ගණිකාරාමත්‍වයෙහි (පිරිස් පිරිවරා ගැණීමෙහි) අනුයුක්ත වූයේ වෙයි. සංසර්‍ගාරාම (ගිහියන් හා හැනී විසීමෙහි ආසා) ඇතියේ සංසර්‍ගයෙහි නිරත වූයේ සංසර්‍ගාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි. (තණ්හා මාන දිට්ඨි යන) ක්ලේශ ප්‍රපඤ්චාරාම වූයේ ප්‍රපඤ්චයෙහි නිරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට භද්‍ර මරණයෙක් නොවේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් නොවේ නම්, මෙලෙසින් මහණ එ එ පරිද්දෙන් වාසය කෙරෙයි. ඇවැත්නි, මෙ මහණ (තෙබුමුවට නමැති) සත්කායයෙහි අභිරත වූයේ මනාහේතුයෙන් වෘත්තදුඃඛයාගේ අන්තකරණය පිණිස සත්කායය නො හළේ යයි කියනු ලැබේ.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහුට භද්‍ර මරණයෙක් වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් වේ නම්, මහණ එ එ පරිදියෙන් විහාර කරයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහුට භද්‍ර මරණයෙක් භද්‍ර කාලක්‍රියායෙක් වේ නම් මහණ කෙසේ නම් එ එ පරිදියෙන් වෙසේය යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාම නැතියේ කර්‍මයෙහි නිරත නො වූයේ කර්‍මාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. භාෂ්‍යාරාම නැතියේ භාෂ්‍යරත නො වූයේ භාෂ්‍යාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. නිද්‍රාරාම නැතියේ නිද්‍රාරත නොවූයේ නිද්‍රාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. සඞ්ගණිකාරාම නොවූයේ සඞ්ගණිකාරත නො වූයේ සඞ්ගණිකාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි. සංසර්‍ගාරාම නො වූයේ සංසර්‍ගරත නො වූයේ සංසර්‍ගාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි. ප්‍රපඤ්චාරාම නො වූයේ ප්‍රපඤ්චරත නො වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි.
ඇවැත්නි, මෙසේ මහණ යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහුට භද්‍ර මරණ වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් වේ නම්, ඒ ඒ පරිද්දෙන් වාසය කෙරේ. ඇවැත්නි, මෙ මහණ නිර්‍වාණයෙහි අභිරත වූයේ මනා හේතුයෙන් වෘත්ත දුඃඛක්‍ෂය කරණු සඳහා සත්කාය හළේ යයි කියනු ලැබේ.
1. නුවණ නැති යමෙක් ප්‍රපඤ්චයෙහි අනුයුක්ත වූයේ ප්‍රපඤ්චයෙහි අභිරති ඇතියේ වේ නම්, හේ යෝගක්‍ෂේම නම් අනුත්තර නිර්‍වාණය නො ඇරැයී.
2. යමෙකුගේ ප්‍රපඤ්චය දුරලා නිෂ්ප්‍රපඤ්ච (නිර්‍වාණ) පදයෙහි රැඳුනේ වේ ද, හේ යෝගක්‍ෂේම නම් වූ අනුත්තර නිර්‍වාණය ඇරැයී.
6. 1. 2. 5.
[අනුතප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, යම් යම් වැ පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුශොචනා කටයුතු වේ නම්, මහණ ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කෙරේ නම්, කෙසේ මහණ ඒ ඒ පරිද්දෙන් වාස කෙරේය යත්:
ඇවැත්නි, මේ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මයෙහි අභිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි. භාෂ්‍යාරාම ඇතියේ ... වෙයි. නිද්‍රාරාමතා ඇතියේ ... සඞ්ගණිකාරාමතා ඇතියේ ... සංසර්‍ගාරාමතා ඇතියේ ... වෙයි. ප්‍රපඤ්චාරාමතා ඇතියේ ප්‍රපඤ්චරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි ...