6. 1. 2. 3.
[නිස්සාරණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, මෙ නිස්සාරණීය ධාතු සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් (ත්‍රීකචතුෂ්ක ධ්‍යානික) මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිත ය. පුන පුනා කරණලදු. යුක්තයානසදෘශ කරණලදු. පිහිට කරණලදු. ඉටනලදු. පුරුදුකරණලදු. මොනොවට ප්‍රගුණ කරණ ලදු. එතෙකුදු වුව ව්‍යාපාදය මාගේ චිත්තය වටාගෙණ සිටුනේය”යි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කියැයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කරණු නොමනා ය. ඇවැත්නි, මෛත්‍රී චිත්තවිමුක්ති භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු ව්‍යාපාදය ඔහුගේ සිත මැඩගෙණැ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අවකාශ නැත, මෙ කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම්බඳු මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙක් වේ නම්, තෙල කරුණ ව්‍යාපාදයාගේ ම නිස්සරණ යි.”
(2) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් කරුණා චේතෝ විමුක්තිය වඩනලදු, නැවත නැවත කරණලදු, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදුවත් මාගේ සිත විහෙසා තෙමෝ වටාගෙණ සිටුනීය”යි මෙසේ කියා නම්, හේ “ඇවැත්නි, නහමක් එසේ කියව”යි මෙසේ කිවයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන කරණු නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො කියන්නාහ. ඇවැත්නි, කරුණාචේතෝවිමුත්තිය භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු විහෙසා තොමෝ ඔහුගේ සිත මැඩගෙණ සිටුනීය යන තෙල කරුණ නො වෙයි. අනවකාශ ය. තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ කරුණාචේතෝ විමුත්තියෙක් වේ නම්, තෙල විහෙසාවගේ නිස්සරණය මැ”යි.
(3) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් මුදිතා චේතෝවිමුත්තිය භාවිත ය, බහුලීකෘත්‍ය ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදුවුව අරතිය මාගේ චිත්තය වටාගෙණ සිටුනී ය”යි මෙසේ කියා නම්, හේ “නහමක් එසේ කියව”යි කියයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මනා ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොම වදාරන්නාහ. ඇවැත්නි, මුදිතා චේතෝවිමුත්තිය භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු අරතිය ඔහුගේ සිත වටා ගෙණ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ මුදිතා චේතෝ විමුක්තියෙක් වේ නම් තෙල අරතිහුගේ නිඃසරණය මැ”යි.
(4) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් උපේක්‍ෂා වේතොවිමුක්තිය භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදු වුව රාගය මාගේ චිත්තය වටාගෙණ සිටුනේ ය”යි මෙසේ කියා නම්, හේ නහමක් එසේ කියවයි කිවයුතු වන්නේ ය. “ආයුෂ්මත්, නහමක් එසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අබිබවා කියව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නොමනා ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ. ඇවැත්නි, උපේක්‍ෂා චේතෝවිමුක්තිය වඩත්ම බහුලකරත්ම යුක්තයානයක් මෙන් කරත්ම පිහිට කරත්ම අධිෂ්ඨිතවත්ම පරිචිතවත්ම මොනොවට ප්‍රගුණ කරත්ම වැලිත් රාගය ඔහුගේ චිත්තය වටාගෙණ සිටුනේ ය යන යමක් වේ නම් තෙල කරුණ අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ උපේක්‍ෂා චේතෝවිමුක්තියෙක් වේ නම්, තෙල රාගයාගේ මැ නිඃසරණ වේ ය”යි.