5. 5. 4. 3.
[සෝභන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ... සමාදන් ව ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. ... බහුශ්‍රුත වූයේ ... නුවණින් මොනොවට පිළිවිදියාහු වෙති. අපරිබුද්ධ වූ (නොපැටලෙන) නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්‍වාගත සොඳුරු වදන් හඬ ඇතියේ සොඳුරු වදන් ඇතියේ ද වෙයි. වෙත එළඹෙන්නවුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට (උද්‍යෝගී කරවන්නට) පහදවන්නට ප්‍රතිබල වෙයි. විශුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සිවුදැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුල ව ලබන්නේ ද වෙයි.
මහණෙනි, මේ පස්දහමින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි.
5. 5. 4. 4.
[බහූපකාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ... සමාදන්ව ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. බහුශ්‍රුත වූයේ ... නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. කැඩුම් බිඳුම් පිළිසකර කෙරෙයි. “මහබික්සඟහු පැමිණියහ. (ඔහු) නා නා රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. (එ ආවාසික මහණ) ගිහියන් වෙත එළඹ ආරෝචනා කෙරෙයි: ‘ඇවැත්නි, මහබික්සඟහු එළඹිය හ. (ඔහු) නානා රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) දිටුදැමියෙහි සුඛවිහරණ වූ අධිචිත්තයෙහි උපදනා වූ සිවුදැහැන් කැමති සේ ලබන සුලු වූයේ නිදුකින් ලබන සුලු වූයේ විපුල සේ ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙකරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇති වේ යයි.
5. 5. 4. 5.
[අනුකම්පක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගිහියනට අනුකම්පා කෙරෙයි. කවර පසෙකින් යත්:
අධිසීලයෙහි සමාදන් කරවයි. චතුස්සත්‍යධර්‍මදර්‍ශනයෙහි යොදවයි. ගිලනුන් වෙත එළඹ “ඇවැත්නි, හැම සත්කාරයට නිසි තුණුරුවන් විසාහි ගිය ස්මෘතිය එළවා ගණුව” යි සිහි උපදවයි. මහබික්සඟහු එළඹියාහු වෙති. (ඔහු) නොයෙක් රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. එ ආවාසික මහණ ගිහියන් වෙත ගොස් (මෙසේ) දන්වාලයි. “ඇවැත්නි, මහබික්සඟහු එළඹියාහ. (ඔහු) නා නා රාජ්‍යයනට අයත් භික්‍ෂුහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) ඕහට රූක්‍ෂ වේවයි ප්‍රණීත වේවයි යම් ම භෝජනයක් දෙත් නම්, එය තෙමේ වළඳයි, ශ්‍රද්ධාදෙයය විනිපාත නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ ගිහිනට අනුකම්පා කෙරේ යයි.
5. 5. 4. 6.
[ප්‍රථම අවණ්ණාරහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරෑහි වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස (නොදැන) නුගුණ කියයුත්තාට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කිය යුත්තාහට නුගුණ කියයි. නො පිරික්සා නො පිවිස නො පැහැදියයුතු තැන්හි ප්‍රසාදය උපදවයි. නො පිරික්සා නො පිවිස පැහැදිය යුතු තැන්හි අප්‍රසාදය උපදවයි. සද්ධාදෙය්‍යය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිටුනේයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ (හිසින්) ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. විමසා පිවිස ගුණ කියයුත්තාහට ගුණ කියයි. විමසා පිවිස නො පැහැදියයුතු තැන්හි අප්‍රසාදය උපදවයි. විමසා පිවිස පැහැදියයුතු තැන්හි ප්‍රසාදය උපදවයි. සද්ධාදෙය්‍යය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි.
5. 5. 4. 7.
[ද්විතීය අවණ්ණාරහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස නුගුණ කියයුත්තාහට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කියයුත්තාහට නුගුණ කියයි. ආවාසමච්ඡරිය ඇත්තේ ආවාසගේධය (ගිජුබව) ඇත්තේ වෙයි. කුලමච්ඡරිය ඇත්තේ කුලගෙධය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කරන්නේ වෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.