5. 5. 4. 10.
[ද්වීතිය මච්ඡරිය සූත්රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි, ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි, ධම්මමච්ඡරිය ඇත්තේ වෙයි.
මහණෙනි, මෙ පස්දහමින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය නැත්තේ වෙයි. කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ධම්මමච්ඡරිය නැත්තේ වේ.
මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ යයි.
ආවාසික වර්ගය සතර වැනි යි.
එහි උද්දානය:
අභාවනීය සූත්ර ය, පිය සූත්ර ය, සෝභන සූත්ර ය, බහූපකාර සූත්ර ය, අනුකම්පක සූත්ර ය, යථාභතං ආදි කොට ඇති අවණ්ණාරභ සූත්ර තුන ය, මච්ඡරිය සූත්ර දෙක යයි සූත්ර දසයෙකි.
5. දුච්චරිත වර්ගය
5. 5. 5. 1.
[දුච්චරිත සූත්රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමාට උපවාද කෙරෙයි, විඥයෝ දැන ගරහති, ලාමක කීර්තිශබ්දය උස්ව නැඟෙයි, මුළා වූයේ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසයි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. විඥයෝ දැන පසසති. කල්යාණ කීර්තිශබ්දය උස්ව නැඟෙයි. නුමුළා වූයේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට පැමිණෙයි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසයි.
5. 5. 5. 2.
[කාය දුච්චරිත සූත්රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, කායදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි …]
මහණෙනි, කායසුචරිතයෙහි මේ අනුසස් පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 3.
[වචීදුච්චරිත සූත්රය]
[සැවැත්නිදාන යි]
43. මහණෙනි, වාග්දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, වාග්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
5. 5. 5. 4.
[මනෝදුච්චරිත සූත්රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි, නුවණැත්තෝ දැන පසසති. කල්යාණ කීර්තිශබ්දය උස්ව නැගෙයි. නො මුළාව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට පැමිණෙයි.
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.