5. 5. 3. 9.
[ප්‍රථම කණ්හසප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, කෘෂ්ණසර්‍පයා (කළුනයා) කෙරේ මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්‍රය, දුර්‍ගන්‍ධය, සභිරුකය, ප්‍රතිභය සහිතය (එහෙයින් ඉවත් කළ යුතුය), මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, කෘෂ්ණසර්‍පයා කෙරෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්‍ර ය, දුර්‍ගන්‍ධ ය,සභිරුකය, ප්‍රතිභය සහිතය, මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
5. 5. 3. 10.
[ද්විතීය කණ්හසප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, කළසප්හු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
කිපෙන සුලු ය, වෙර බඳනා සුලු ය, ඝොරවිෂ ඇතියේ ය, දෙදිව් ඇතියේ ය, මිත්‍රද්‍රෝහී ය.
මහණෙනි, කළසප් කෙරෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
කිපෙන සුලු ය, වෙර බඳිනා සුලු ය, ඝොරවිෂ ඇත්තී ය, දෙදිව් ඇත්තී ය, මිත්‍රද්‍රෝහී ය.
මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ ඝොරවිෂ බව වෙයි: මහණෙනි, බොහෝ සෙයින් මාගම තීව්‍රරාග ඇත්තීය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ දෙදිව් ඇති බව යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් පිසුණු බස් ඇත්තී ය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ මිත්‍රද්‍රෝහීභාවය යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් අතිචාරිනී වෙයි.
මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
දීඝචාරිකවර්‍ගය තුන් වැනි යි
එහි උද්දානය:
දීඝචාරික සූත්‍ර දෙකක් කියනලද, අතිනිවාසසූත්‍ර ය, දුතිය අතිනිවාස මච්ඡරීසූත්‍ර ය, කුලුපගසූත්‍ර දෙක ය, භෝගසූත්‍ර ය, උස්සුරභත්තසූත්‍ර ය, කණ්ණහසප්පසූත්‍ර දෙක ය යි සූත්‍ර දසයෙකි.