5. 5. 3. 10.
[ද්විතීය කණ්හසප්ප සූත්රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, කළසප්හු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
කිපෙන සුලු ය, වෙර බඳනා සුලු ය, ඝොරවිෂ ඇතියේ ය, දෙදිව් ඇතියේ ය, මිත්රද්රෝහී ය.
මහණෙනි, කළසප් කෙරෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
කිපෙන සුලු ය, වෙර බඳිනා සුලු ය, ඝොරවිෂ ඇත්තී ය, දෙදිව් ඇත්තී ය, මිත්රද්රෝහී ය.
මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ ඝොරවිෂ බව වෙයි: මහණෙනි, බොහෝ සෙයින් මාගම තීව්රරාග ඇත්තීය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ දෙදිව් ඇති බව යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් පිසුණු බස් ඇත්තී ය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ මිත්රද්රෝහීභාවය යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් අතිචාරිනී වෙයි.
මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
දීඝචාරිකවර්ගය තුන් වැනි යි
එහි උද්දානය:
දීඝචාරික සූත්ර දෙකක් කියනලද, අතිනිවාසසූත්ර ය, දුතිය අතිනිවාස මච්ඡරීසූත්ර ය, කුලුපගසූත්ර දෙක ය, භෝගසූත්ර ය, උස්සුරභත්තසූත්ර ය, කණ්ණහසප්පසූත්ර දෙක ය යි සූත්ර දසයෙකි.
4. ආවාසික වර්ගය
5. 5. 4. 1.
[අභාවනීය සූත්රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත ආවාසික මහණ අභාවනීය (බුහුමන් නො ලබන්නේ- නොවැඩෙන්නේ) වෙයි. කවර පසෙකින් යත්:
ආකල්පසම්පන්න නො වූයේ (මනා ගතිපැවතුම් නැත්තේ) වත්සපන් නො වෙයි. බහුශ්රුත නො වූයේ ශ්රැතධර නො වෙයි. කෙලෙස් ලියා නො හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ නො වෙයි. කළණ බස් නැතියේ කළ්යාණවාක්කරණ ඇතියේ නො වෙයි. මූඪ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්රාඥ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත ආවාසික මහණ භාවනීය නො වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත ආවාසික මහණ භාවනීය වෙයි. කවර පසෙකින් යත්:
ආකල්පසම්පන්න වූයේ වත්සපන් වෙයි. බහුශ්රුත වූයේ ශ්රැතධර වෙයි. කෙළෙස් ලියා හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ වෙයි. කළණ බස් ඇතියේ කළ්යාණවාක්කරණ ඇතියේ වෙයි. ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්රාඥ වෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත ආවාසික මහණ භාවනීය වෙයි.
5. 5. 4. 2.
[ප්රිය සූත්රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත ආවාසික මහණ සබ්රම්සරුනට ප්රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවෘත ව වසනේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්ර වරදෙහි භය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙණ ශික්ෂාපදයෙහි හික්මෙයි. ශ්රැතධර වූයේ රැස් කොට ගත් ශ්රැත ඇතියේ බහුශ්රුත වෙයි. ආදිකල්යාණ වූ මධ්යකල්යාණවූ පර්ය්යවසානකල්යාණ වූ සාර්ත්ථ වූ සව්යඤ්ජන වූ යම් ධර්මකෙනෙක් කේවලපරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්ය පවසත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසනලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් ප්රගුණ කරණ ලද්දාහු සිතින් අනුප්රේක්ෂිත වූවාහු නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. පරිබුද්ධ වූ නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්වාගත කලණ වදන් හඬ ඇතියේ කලණ වදන් ඇතියේ ද වෙයි. විසුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සව්දැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුලව ලබන්නේ ද වෙයි. ආස්රවක්ෂය වීමෙන් අනාස්රව වූ අර්හත් ඵල සමාධි සඞ්ඛ්යාත චිත්තවිමුක්තිය ද අර්හත්ඵලප්රඥා සඞ්ඛ්යාත ප්රඥාවිමුක්තිය ද තෙමේ ඉහාත්මයෙහි ම විශිෂ්ටඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
මහණෙනි, මේ පස්දහමින් සමන්වාගත ආවාසික මහණ සබ්රම්සරුන්ට ප්රිය හා මනාප හා ගරු හා භාවනීය හා වේ යයි.