5. 5. 3. 8.
[උස්සූරභත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, හිරුනැගි බොහෝ දහවල් අහර පිසින කුලයෙහි මේ දොස් පසෙකි.
සත්කාරාර්‍හ යම් අතිථිහූ (ආන්තුකයෝ) වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ. ඒකභක්තික වූ රාත්‍රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණු කෙනෙක් වෙත් නම්, නිසි කල්හි ඔවුන් නො පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ විමුඛව කර්‍ම (වැඩ හැර හිඳිත්). අසමයෙහි වැළඳූ භෝජනය එකෙණෙහි ඕජොරහිත වෙයි.
මහණෙනි, බොහෝ දහවල් කොට අහර පිසින කුලයෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, නිසි කල්හි අහර පිසින කුලෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
යම් සත්කාරාර්‍හ අතිථිහූ වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. ඒකභක්තික වූ රාත්‍රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණෝ වෙත් නම්, ඔවුන් සුදුසු කල්හි පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ අවිමුඛ (උත්සුක) වූවාහු කර්‍ම කරන්නාහ. සුදුසු කාලයෙහි වැළඳූ අහර එකෙණෙහි ඕජස් ඇතියේ වෙයි.
මහණෙනි, සමයභක්තකුලයෙහි මේ අනුසස් පස යි.
5. 5. 3. 9.
[ප්‍රථම කණ්හසප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, කෘෂ්ණසර්‍පයා (කළුනයා) කෙරේ මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්‍රය, දුර්‍ගන්‍ධය, සභිරුකය, ප්‍රතිභය සහිතය (එහෙයින් ඉවත් කළ යුතුය), මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, කෘෂ්ණසර්‍පයා කෙරෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්‍ර ය, දුර්‍ගන්‍ධ ය,සභිරුකය, ප්‍රතිභය සහිතය, මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
5. 5. 3. 10.
[ද්විතීය කණ්හසප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, කළසප්හු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
කිපෙන සුලු ය, වෙර බඳනා සුලු ය, ඝොරවිෂ ඇතියේ ය, දෙදිව් ඇතියේ ය, මිත්‍රද්‍රෝහී ය.
මහණෙනි, කළසප් කෙරෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
කිපෙන සුලු ය, වෙර බඳිනා සුලු ය, ඝොරවිෂ ඇත්තී ය, දෙදිව් ඇත්තී ය, මිත්‍රද්‍රෝහී ය.
මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ ඝොරවිෂ බව වෙයි: මහණෙනි, බොහෝ සෙයින් මාගම තීව්‍රරාග ඇත්තීය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ දෙදිව් ඇති බව යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් පිසුණු බස් ඇත්තී ය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ මිත්‍රද්‍රෝහීභාවය යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් අතිචාරිනී වෙයි.
මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
දීඝචාරිකවර්‍ගය තුන් වැනි යි
එහි උද්දානය:
දීඝචාරික සූත්‍ර දෙකක් කියනලද, අතිනිවාසසූත්‍ර ය, දුතිය අතිනිවාස මච්ඡරීසූත්‍ර ය, කුලුපගසූත්‍ර දෙක ය, භෝගසූත්‍ර ය, උස්සුරභත්තසූත්‍ර ය, කණ්ණහසප්පසූත්‍ර දෙක ය යි සූත්‍ර දසයෙකි.